67. වත්ථදායක ථේර අපදාන වර්ණනාව
පක්ඛිජාතො තදාආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් වත්ථදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නිවනට හේතුවන පින් රැස්කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ගුරුළු යෝනියෙහි උපන්නේය. ගන්ධමාදන පර්වතයට වඩින්නා වූ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව ගුරුළු ස්වරූපය හැර තරුණයකුගේ ස්වරූපය මවාගෙන මාහැඟි දිවසළුවක් ගෙනවුත් භාග්යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්යවතුන් වහන්සේ ද පිළිගෙන අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින් ම දවස් ගෙවා දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි වරින්වර සැරිසරන්නේ පින් අනුභවකොට එයින් මිනිසුන් අතර මනුෂ්ය සම්පත් ද යන සැමතැන මාහැඟි වස්ත්ර ආභරණද ලැබීය. ඉන්පසු උපනුපන් භවයෙහි වස්ත්ර සෙවනැල්ලෙහි ගිය ගිය තැන වසන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණි රහත් කෙනෙක් විය. පෙර කරන ලද පුණ්යකර්මයෙන් වත්ථදායක තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ,
උන්වහන්සේ තමාගේ පුණ්යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පක්ඛිජාතො තදා ආසිං’ යනාදිය කීහ. එහි පක්ඛිජාතො යනු එයින් පනීනුයි. එයින් පාවේනුයි සකුන නමි. පියාපත් ‘පක්ඛමස්ස අත්ථීති’ ඔහුට පියාපත් ඇත්තේනුයි පක්ඛී නමි. පක්ඛිජාතො පක්ෂි යෝනියෙහි උපන්නේ යන අර්ථයි. සුපණ්ණො යනු සොඳුරු පියාපත් ඇත්තේ යමෙකුටද ඔහු සුපණ්ණ නමි. වාතය අල්ලා ගන්නා රන්වන් දිලිසෙන පියාපත් නමැති මහ බරක් ඇත්තේ යන අර්ථයි. ගරුළාධිපො යනු නයින් අල්ලා ගැනීම පිණිස ගරුං බර ගල් ගිලින්නෝනුයි ගරුළා. ගරුඬයන්ට අධිපති වූයේ රජ වූයේ ගරුළාධිපො නමි. විරාගී බුදුරජාණන් වහන්සේ මම දැක්කෙමි යන සම්බන්ධයි.
වත්ථදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
68. අම්බදායක ථේර අපදාන වර්ණනාව
අනොමදස්සි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් අම්බදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අනොමදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වඳුරු යෝනියෙහි ඉපිද හිමවතෙහි වඳුරු රජෙක්ව වාසය කරයි. එසමයෙහි අනොමදස්සි භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ වඳුරු රාජයා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුමධුර වූ අඹ ඵලයක් පැණි ස්වල්පයක් සමග දුන්නේය. ඉක්බිති භාග්යවතුන් වහ්නසේ ඔහු බලා සිටියදීම ඒ සියල්ල වළඳා අනුමෝදනා කොට වැඩි සේක. ඉක්බිති ඔහු සොම්නසින් පිරුණු හදවතින් යුතුව එම ප්රීති සොම්නසින් දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ වරින්වර එහි දිව්ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර මිනිස් සම්පත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයෙක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණියේ විය. පෙර පිනෙහි නමින් අම්බදායක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
පසුකලෙක තමා විසින් කරන ලද කුශල බීජය දැක හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. මෙත්තාය අඵරීලොකං අප්පමාණං නිරූපධී යනු ඒ භාග්යවතුන් වනහන්සේ සියලු ලොව අපමණ සත්ත්වයෝ සුවපත් වෙත්වායි ආදියෙන් නිරුපධී උපධි විරහිත කොට මෙත්තාය මෛත්රී සිත අඵරි පැතිරූ සේක. වර්ධනය කළ සේක යන අර්ථයි.
කපි අහං තදා ආසිං යනු එකල්හි උන්වහන්සේ වඩනා කල්හි මම වඳුරු රජෙක් වීමි යන අර්ථයි.
අම්බදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
69. සුමන ථේර අපදාන වර්ණනාව
සුමනො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මල්කරුවකුගේ කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පහන් සිතැත්තේ සමන් මල් මිටි ගෙන දෑතින්ම පූජා කළේය. හේ ඒ පුණ්ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී සුමන නමින් ප්රකට වූයේ ශාස්තෲන් කෙරෙහි පැහැදී පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.
හේ රහත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුමනොනාම නාමෙන’ යනාදිය කීය. සොඳුරු වූ මනං සිතක් ඇත්තේ යමකුටද හේ සුමනො නමි. ශ්රද්ධා ප්රසාද බහුමානයෙන් යුතු වූයේ එදා නමින් සුමන නමි. මල්කරුවෙක් වීමි.