අපදාන අටුවාව
පළමු භාගය
ග්‍රන්ථාරම්භ කථා
නැණ සයුර තරණය කළ - සසර සයුරෙන් එතරව,
උදාරම පුද්ගල වු - බුදුරදුන් සිරසින් වැඳ
උදාරම පුද්ගල වු - බුදුරදුන් සිරසින් වැඳ
ගැඹුරු නුවණින් දත් - සතරහු වෙතින් පුද ලද,
සසර දුක් සිඳිනා - සිරි සදහම් රුවන් වැඳ
සසර දුක් සිඳිනා - සිරි සදහම් රුවන් වැඳ
සව්කෙළෙස් සිඳ ලූ - අරි අටඟ ගුණයෙන් යුත්,
දැමුණු ඉඳුරන් ඇති- මහ සඟගණ ද වඳිනෙම්
දැමුණු ඉඳුරන් ඇති- මහ සඟගණ ද වඳිනෙම්
“මේ එකිනෙකට කරන ලද ප්‍රණාමය ඇත්තේ,
රත්නත්‍රය විශේෂ වූ විශේෂ සාදර ගෞරවයෙන්”
රත්නත්‍රය විශේෂ වූ විශේෂ සාදර ගෞරවයෙන්”
“ප්‍රඥාවන්තයන් අතුරෙන් අතිශය ප්‍රඥාකර වූ විඤ්ඤූ, පුරුෂයන් අතර අග්‍රතර වූ ස්වාමිනි, විශේෂයෙන් අපදාන අට්ඨකථාව කළයුතු වන්නේය”
“යළි යළිත් හටගත් ආදර බැතියෙන්, කීර්තිමත් වූ, බුදුරදුන්ගේ චරිත කතා සහිත සෙසු චරිතකථා ද, කරන ලෙස ඉල්ලන ලදුව, ඒ මා විසින්”
“විශේෂයෙන් පිටකත්‍රයේ ප්‍රදීපයක් සේ බබළන, පාළි න්‍යාය අනුගමනය කරමින් යහපත් වූ අර්ථ වර්ණනා සහිතව”
“කවරකු විසින්, කොතනකදී, කවරදා මේ උතුම් ධර්මය දේශනා කරන ලද්දේද, කුමන අර්ථයක් පිණිස දේශනා කළද, නිසි පරිදි මෙසේ විවරණ කොට,”
“නිදානයද, ප්‍රකටවන අර්ථයද, මැනවින් ධාරණය වනු පිණිස, යථා විධි පෙළගස්වා පූර්වපර සන්ධි ගළපා”
“පැරණි සිංහල භාෂාවෙන් කරන ලද පෞරාණික අර්ථ කථාවලද, තබන ලද අයුරු සාධනය නොවේ, පණ්ඩිතයන්ගේ කැමැති අකමැති තැන්ද ගලපා”
“එබැවින් පෞරාණික අර්ථකථා න්‍යාය උපනිශ්‍රය කොට, විශේෂ අර්ථ ප්‍රකාශ වන සේ, විරුද්ධ අර්ථ දුරුකොට, විශේෂ වර්ණනාවක් වශයෙන් මෙම අර්ථ වර්ණනාව කරන්නෙමි”
නිදාන කතා
කවරකු විසින්, කවදා, කොතනකදී මේ උතුම් ධර්මය දේශනා කරන ලද්දේද? අර්ථ වර්ණනාව කරන්නෙමියි ප්‍රතිඥා දුන් බැවින් ඒ මේ අපදාන අර්ථ වර්ණනාව දුරේ නිදාන, අවිදුරෙ නිදාන, සන්තිකෙනිදාන යන මේ තුන් නිදාන දක්වමින්, වර්ණනා කරනු ලබන්නේ, යමෙක් එය අසත්ද? ඒවායේ මුලපටන්ම දැනගත යුතු බැවින්, (යමකු කෙරෙන් සරළව දැනගැනීම නම් වෙයි, එහෙයින්) එම නිදාන කථා පෙන්වා වර්ණනා කරන්නෙමි.
එහි මුල පටන් නිදානයන් දක්වා පරිච්ඡේද දතයුතුය. දීපංකර පාද මූලයේ පටන් කරන ලද අභිනීහාර ඇත්තේ, මහබෝසතුන්ගේ වෙස්සන්තර ආත්ම භාවයෙන් චුතවී තුසිත පුරයේ උපත දක්වා වන ප්‍රවෘත්තිය කථා මාර්ගය දූරේ නිදාන නම් වේ. තුසිත භවනයෙන් චුතව බෝමැඩ සර්වඥභාවයට පත්වීම දක්වා (බුදුවීම දක්වා) පවත්නා කථා මාර්ගය අවිදූරෙ නිදාන නම් වේ. සන්තිකෙ නිදාන නම්, ඒ ඒ තන්හි වැඩ වසමින් කරන ලද බුද්ධ කෘත්‍යයයි.
දූරෙනිදානකථා
දැන් දක්වනුයේ දූරෙ නිදානයයි. මෙයින් සතර අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකට ඉහත අමරවතී නම් නගරයක් විය. එහි සුමේධ නම් බ්‍රාහ්මණයකු වාසය කරයි. උභය කුල පරිශුද්ධව ඔහුගේ මවද පියාද, කුල හතක් දක්වා පිරිසිදු වූ පරම්පරා ඇති, අපහාස නොලැබූ, නින්දා නොලැබූ, උපතින් මනාරූ ඇති, දැකුම්කළු පැහැදීම් ඇති කරන පරම වර්ණයෙන් හේ සමන්විතය. හෙතම වෙනත් ක්‍රියාවක් නොකොට බ්‍රාහ්මණ ශිල්පයම උගත්තේය. ඔහුගේ ළදරු කාලයේම දෙමව්පියෝ කළුරිය කළහ. ඉක්බිති ඔහුගේ රාසිවර්ධක ඇමතියා (භාණ්ඩාගාරය භාර නිලධාරියා) අයපොත ගෙන්වාගෙන රන් රිදී මුතුමැණික් ආදියෙන් පිරුණ නිධන් ගැබ විවරකොට කුමාරයාණනි; ඔබට මවගෙන් උරුම මෙපමණය, පිය උරුමයෙන් මෙපමණය මුත්තාගේ හා මීමුත්තාගේ ධනය මෙපමණය. ධනය ගැන කියවා, මේවා පිළිගන්නැයි කීවේය. සුමේධ පණ්ඩිතයා මෙසේ සිතීය. මේ ධනය පිළිගෙන මගේ පියමුතු පරපුර පරලොව යන්නාහු එක කහවනුවකුදු ගෙන නොගියේය. මා විසින් පිළිගෙන පරිත්‍යාග කිරීම වටී යයි, රජුට දැනුම් දී, නගරයේ බෙරහඬ නංවා, මහජනයාට දන් දී තාපස ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි විය. ඔහුගේ මේ අදහස හෙළි කිරීමට, මෙතැන්හිදී සුමේධ කථාව කිවයුතුය. එය වනාහි නිරතුරුව බුද්ධවංසයෙහි ආ පරිද්දෙන් ගාථා බන්ධනයෙන් යුක්ත බැවින් සරළ ලෙස ප්‍රකට නොවේ. එහෙයින් ඒ අතරතුර ගාථා සම්බන්ධ වචන හා අර්ථ සමග කියන්නෙමු.
සුමෙධකථා
සාර අසංඛෙය්‍ය කල්ප සත් දහසකට අධික වූ මත්තෙහි, දස ශබ්දවලින් නිරතුරු පැවති, දර්ශනීය වූ, මනහර වූ, අමරවතී යයි ද, අමර යයි ද නම් ලද නගරයක් විය. යමක් සඳහා බුද්ධවංස පාළියේ කියන ලද්දේද;
“සාරාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයකට පෙර, දසවිධ ශබ්දයෙන් නිරතුරු පැවති ආහාරපානවලින් සුලභ දර්ශනීය මනෝරම්‍ය වූ අමර නම් නගරයක් වී.