68. අම්බදායක ථේර අපදාන වර්ණනාව
අනොමදස්සි භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් අම්බදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අනොමදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි වඳුරු යෝනියෙහි ඉපිද හිමවතෙහි වඳුරු රජෙක්ව වාසය කරයි. එසමයෙහි අනොමදස්සි භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස හිමවතට වැඩි සේක. ඉක්බිති ඒ වඳුරු රාජයා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ සුමධුර වූ අඹ ඵලයක් පැණි ස්වල්පයක් සමග දුන්නේය. ඉක්බිති භාග්යවතුන් වහ්නසේ ඔහු බලා සිටියදීම ඒ සියල්ල වළඳා අනුමෝදනා කොට වැඩි සේක. ඉක්බිති ඔහු සොම්නසින් පිරුණු හදවතින් යුතුව එම ප්රීති සොම්නසින් දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ වරින්වර එහි දිව්ය සම්පත් අනුභවකොට මිනිසුන් අතර මිනිස් සම්පත් ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයෙක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණියේ විය. පෙර පිනෙහි නමින් අම්බදායක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
පසුකලෙක තමා විසින් කරන ලද කුශල බීජය දැක හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘අනොමදස්සි භගවා’ යනාදිය කීය. මෙත්තාය අඵරීලොකං අප්පමාණං නිරූපධී යනු ඒ භාග්යවතුන් වනහන්සේ සියලු ලොව අපමණ සත්ත්වයෝ සුවපත් වෙත්වායි ආදියෙන් නිරුපධී උපධි විරහිත කොට මෙත්තාය මෛත්රී සිත අඵරි පැතිරූ සේක. වර්ධනය කළ සේක යන අර්ථයි.
කපි අහං තදා ආසිං යනු එකල්හි උන්වහන්සේ වඩනා කල්හි මම වඳුරු රජෙක් වීමි යන අර්ථයි.
අම්බදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
69. සුමන ථේර අපදාන වර්ණනාව
සුමනො නාම නාමෙන යනාදි වශයෙන් ආයුෂ්මත් සුමන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි මල්කරුවකුගේ කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව හටගත් සැදැහැ ඇත්තේ පහන් සිතැත්තේ සමන් මල් මිටි ගෙන දෑතින්ම පූජා කළේය. හේ ඒ පුණ්ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උභය සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී සුමන නමින් ප්රකට වූයේ ශාස්තෲන් කෙරෙහි පැහැදී පැවිදි වී නොබෝ කලකින්ම රහත් විය.
හේ රහත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘සුමනොනාම නාමෙන’ යනාදිය කීය. සොඳුරු වූ මනං සිතක් ඇත්තේ යමකුටද හේ සුමනො නමි. ශ්රද්ධා ප්රසාද බහුමානයෙන් යුතු වූයේ එදා නමින් සුමන නමි. මල්කරුවෙක් වීමි.
සිඛිනො ලොකබන්ධුනො යනු සිඛා හිස බබලානුයි සිඛී නමි. නැතහොත් සම්ප්රයුක්ත සම්ප්රයෝගයෙහි කානුයි, විනාශ කෙරේනුයි සිඛී නමි. ඒ කවරක්ද? ගිනිසිළුවක් මෙන් හිස දිලෙන බැවින් සිඛී නමි. යම්සේ ගිනිසිළුවක් දිලේද ප්රකට වේද, පත්ර තණකබල් පරඬැල් ආදිය දහනය කෙරේද, එසේම මේ භාග්යවතුන් වහන්සේද නීල පීත ආදී රශ්මියෙන් බබලන සේක් ද, සියලු ලෝක සන්නිවාසයෙහි ප්රකට වන සේක්ද, ස්වකීය සන්තානගත වූ සියලු කෙලෙස් වියලවන සේක් ද, විනාශ වන සේක් ද, දවාලන සේක් දැයි ව්යවහාර නාම කර්මයක් නමක් යමකුට ඇත්ද ඒ සිඛී භාග්යවතුන් වහන්සේගේ, සියලු ලෝකයට බන්ධු ඥාතියෙක් වන සේක්නුයි ලොකබන්ධු නමි. ඒ සිඛී නම් ලෝකබන්ධු වූ භාග්යවතුන් වහන්සේට සමන් මලක් අභිරොපයිං පූජා කළෙමි යන අර්ථයි.
සුමන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
70. පුප්ඵචඞ්ගොටිය ථේර අපදාන වර්ණනාව
අභීතරූපං සීහංවා යනාදි වශයෙන් ආයුෂ්මත් පුප්ඵචංගොටිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වැඩිවියට පත් ඔහු මහා ධනසම්පත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැහැදුණු අයුරු පෙන්වන්නේ, රන්වන් කටුකරඬු මල් බහා වට්ටියක් පුරවා භාග්යවතුන් වහන්සේට පූජාකොට, මේ විපාකයෙන් උපනුපන් තැන රන්වන්ව පිදිය යුත්තේව නිවනට පැමිණෙන්නෙමි යි ප්රාර්ථනාවක් කළේය. හේ ඒ පිනෙන් දෙවි මිනිසුන් අතර උපන්නේ සියලු තන්හි පුදනු ලැබුවේ රන්වන්ව සුරූපී විය. හේ මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු අභීතරූපං සීහංව යනාදිය කීහ. එහි සීහං යනු දෙපා සිව්පා ආදී සත්ත්වයන් අභිභවනය කෙරේනුයි, යටපත් කෙරේනුයි සීහො. අභීතරූපො අභීත ස්වභාව ඇත්තේ, ඒ අභීත ස්වරූප ඇති සිංහයකු මෙන් වැඩහුන් බුදුරජාණන් වහන්සේ පිදුවෙමි යන සම්බන්ධයි. පක්ෂීන්ට අග්ර වූ කුරුලු රජකු මෙන් උතුම් වූ කේසර සිංහයකු මෙන් තුන්ලොවට සරණ වූ සිඛී සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කවරෙක් වීද? අනෙජං නිකෙලෙස්. ස්කන්ධ මාරාදීන් විසින් අපරාජිතව වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යනු සම්බන්ධයි. සමණානග්ගං යනු සියලු කෙලෙසුන් නැසීමෙහි දැවීමෙහි අග්ර වූ, පසේබුදු බුදුසව්වන්ට අග්ර වූ යනු සම්බන්ධයි. භික්ෂු සංඝයා පෙරටුකොට පරිවාරිතං පිරිවරා වැඩහුන් සිඛී බුදුරජාණන් වහන්සේ යන සම්බන්ධයි.