7. සකචින්තනිය වර්‍ගය
61. සකචින්තනිය ථේර අපදාන වර්ණනාව
පවනං කානනං දිස්වා යනාදි වශයෙන් ආයුෂ්මත් සකචින්තනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේය. වැඩිවිය පත්වූ ඔහු ආයුෂ කෙළවර ජීවත්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පිරිනිවන් පෑ කල්හි සෘෂි පැවිද්දෙන් පැවිදිව හිමාලයෙහි වසන්නේ, විවේකී වූ රමණීය වූ එක් වනයකට පැමිණ එහි එක් කඳුරෙක වැලි චෛත්‍යයක් කොට භාග්‍යවතුන් වහන්සේයයි හැඟීම ඇතිකොට, ධාතූන් සහිතයයි හැඟීම ද ඇතිකොට වනමලින් පුදා නමදිමින් ගරු කළේය. ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දෙලොවම අග්‍ර වූ ශක්‍ර සම්පත්තිය ද අග්‍ර වූ චක්‍රවර්ති සම්පත්තිය ද අනුභවකොට, මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ධනසම්පත් ඇත්තේ, සැදැහැ ඇත්තේ, ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව රහත්ව ෂට් අභිඥා ඇත්තේ විය.
හේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පවනං කානනං දිස්වා යනාදිය කීය. එහි පවනං යනු ක්‍රමයෙන් වනය විස්තීර්ණ වූයේ ගහණ වූයේනුයි පවන නමි. අපිරිසිදු ආශ්වාස ප්‍රශ්වාස කිරීම් කැඳවීම් කානන නමි. ඒ කානන සංඛ්‍යාත වූ පවන. මිනිස් හඬ නැති බැවින් අල්ප ශබ්ද යන අර්ථයි. අනාවිලං යනු නආවිලං උපද්‍රව නැති යන අර්ථයි. ඉසීනං අනුචිණ්ණං යනු බුදු පසේබුදු රහත් ක්‍ෂීණාශ්‍රව සංඛ්‍යාත වූ සෘෂීන් විසින් අනුචිණ්ණං සේවනය කරන ලද්දේ යන අර්ථයි. ආහුතීනං පටිග්ගහං යනු ආහුනං පූජා සත්කාර ප්‍රතිග්‍රහණයෙහි ගෙයක් වැනිය යන අර්ථයි.
ථූපං කත්‍වාන වෙළුනා යනු උණපතුරුවලින් චෛත්‍යයක් කොට යන අර්ථයි. නානා පුප්ඵං සමොකිරිං යනු සපු ආදී නොයෙක් මලින් සමොකිරිං සැදුවෙමි යන අර්ථයි. සම්මුඛා විය සම්බුද්ධං යනු ජීවමාන සම්බුදුරජාණන් වහන්සේ සමීපයෙහිම නිර්මාණය කරන ලද උත්පාදනය කරන ලද කරවන ලද චෛත්‍යය මම විශේෂයෙන් වදිං ප්‍රණාම කෙළෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
සකචින්තනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
62. අවොපුප්ඵිය ථේර අපදාන වර්ණනාව
විහාරා අභිනික්ඛම්ම යනාදි වශයෙන් ආයුෂ්මත් අවොපුප්ඵිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව සැදැහැ ඇත්තේ දහම් අසා සොම්නසට පැමිණියේ නොයෙක් මල් දෑතින් ගෙන බුදුරජාණන් වහන්සේ මතින් විසුරුවා හැරියේය. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ස්වර්ග සම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තියද අනුභවකොට සැමතැන පූජිත වූයේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව සසුනෙහි පැහැද පැවිදි වූයේ නොබෝ දිනකින්ම රහත් විය. ආ හාත්පසින් කාසනි බබුළුවානුයි ආකාස නමි. ඒ ආකාසයෙහි මල් විසුරුවා හැරියේය. එයින් අවොපුප්ඵිය තෙරුන් වහන්සේ යනුවෙන් ප්‍රකට වූයේ,
මෙසේ පැමිණි ශාන්ති පද ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ විහාරා අභිනික්ඛම්ම යනාදිය කීය. එහි විහාරො යනු විශේෂයෙන් හරති සිව් ඉරියව්වෙන් නොතැවෙන ආත්මභාවය ආහරති මෙහි පවත්වා ගනීනුයි විහාර නමි. විශ්වාසයෙන් නික්ඛම්ම නික්මී අබ්භුට්ඨා සිංච චඞ්කමෙ සක්මන් කරනු පිණිස සැටරියන් සක්මනෙහි විශ්වාසයෙන් යුතුව උපට්ඨාසිං නැගුණෙමි යන අර්ථයි. චතුසච්චං පකාසෙන්තො යනු එම සක්මනෙහි සක්මන් කරන්නේ දුක්ඛ සමුදය නිරොධ මග්ග සංඛ්‍යාත වූ චතුස්සත්‍යය පකාසෙන්තො ප්‍රකට කරන්නේ අමතංපදං නිර්වාණය දෙසෙන්තො විභජනය කරන්නේ පැහැදිලි කරන්නේ එම සක්මනෙහි යනු සම්බන්ධයි.
සිඛිස්ස ගිරමඤ්ඤාය බුද්ධසෙට්ඨස්ස තාදිනො යනු ශ්‍රේෂ්ඨ වූ තාදිගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ ගිරං ශබ්දය ඝෝෂාව. අඤ්ඤාය දැන. නානාපුප්ඵං ගහෙත්‍වා යනු නා පුවක් ආදී නොයෙක් මල් ගහෙත්‍වා ගෙනැවිත්. ආකාසම්හි සමොකිරිං යනු සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ මුදුනෙහි අහසෙහි ඔකිරිං පිදුවෙමි.
තෙන කම්මෙන දිපදින්‍දා යනු මිනිසුන්ට දෙවි මිනිසුන්ට ඉන්දු! ප්‍රධාන වූ තැනැත්ත! නරාසභ! නරයන්ට ප්‍රධාන වූ තැනැත්ත! පත්තොම්හි අචලංඨානං යනු ඔබගේ සමීපයෙහි පැවිදිව අචලට්ඨානං නිවනට පැමිණියේ අම්හි වෙමි. හිත්‍වාජයපරාජයං යනු දිව්‍ය මනුෂ්‍ය සම්පත්ති සංඛ්‍යාත වූ ජයද, සතර අපාය දුක් සංඛ්‍යාත වූ පරාජයද හිත්‍වා හැරදමා නිවනට පැමිණියේ වෙමි යන අර්ථයි.