64. පරප්පසාදක ථේර අපදාන වර්ණනාව
උසභං පවරං වීරං යනාදි වශයෙන් ආයුෂ්මත් පරප්පසාදක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙක උපන්නේය. ඉතිහාසය පස්වෙනිකොට ඇතිව වේදත්‍රයෙහි පරතෙරට ගිය ඔහු ව්‍යාකරණ නිඝණ්ඩු සහිත කේටුභයන්හි ද ලෝකායත මහාපුරුෂ ලක්ෂණයන්හිද දක්‍ෂ වූයේ නමින් සේල බ්‍රාහ්මණයා යයි ප්‍රකට වූයේය. සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේ දෙතිස් මහපුරිස් ලකුණින්ද අසූ අනුව්‍යඤ්ජනයෙන් ද බබලනු දැක පහන් සිතැත්තේ නොයෙක් කරැණුවලින් උපමාවනින් ස්තුති කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ඒ දෙකෙහි අග්‍රවූ ස්වර්ග සම්පත්තියද අග්‍ර වූ චක්‍රවර්ති සම්පත්තියද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ද සැදැහැ ද ඇති එක් කුලගෙයක උපන්නේය. අපගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදිව නොබෝ කලකින්ම සිව්පිළිසිඹියා ෂට් අභිඥාවන්ට පත්වූයේ මහා ක්‍ෂීණාශ්‍රව කෙනෙක් විය. බුදුරජාණන් වහන්සේට ස්තුති කිරීමෙන් සියලු සතුන්ටත් සිත් පැහැදවීම් කිරීම නිසා පරප්පසාදක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේය.
එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ උසහංපවර වීරං යනාදිය කීය. එහි උසභං යනු වසභය, නිසභය, විසභය, ආසභ යයි ජ්‍යෙෂ්ඨ පිරිමි ගවයෝ සිව් දෙනෙකි. එහි ගවයන් සියයකට ජ්‍යෙෂ්ඨ වූයේ වසභ නමි. ගවයන් දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ නිසභ නමි. ගවයන් දසදහසකට ජ්‍යෙෂ්ඨ වූයේ විසභ නමි. ගවයන් කෝටි දස දහසකට ජ්‍යෙෂ්ඨ වූයේ ආසභ නමි. උසභ යනුද වේ. යම් කිසිවකුට ස්තුති කරන්නා වූ බහුශ්‍රැත බමුණු පඬිවරු තම තමන්ගේ ප්‍රඥා වශයෙන් ස්තුති කරති. බුදුවරුන්ට සර්වාකාරයෙන් ස්තුති කිරීමට සමර්ථ වූ එකෙක්වත් නැත. බුදුරජාණන් වහන්සේ නොමිනිය හැකි වෙති. මෙය කියන ලදි.
‘බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍යවණ්ණං, කප්පම්හි චෙ අඤ්ඤමභාසමානො,
ඛීයෙථ කප්පො චිරදීඝමන්තරෙ, වණ්ණො නබීයෙථ තථාගතස්ස’ ත්‍යාදිකං
‘කපක් කල් වෙන බසක් නොබැණම
බුදුකෙනෙකුගේ ගුණ වණත් හොත්
කප ගෙවී යයි කල් ඇවෑමෙන්
බුදුන්ගේ ගුණ නොසිඳයේමැයි
මේ බමුණාද මුවට නැගුණු පමණින් මෙයද සිද්ධි වශයෙන් ආසභං යනුවෙන් කියයුතු කල්හි උසභං යනුවෙන් කීවේය. අත්හළ යුත්තේ ප්‍රාර්ථනා කළ යුත්තේ වර නමි. නොයෙක් කල්ප සිය දහසක් කල්හි කරන ලද වීර්ය ඇත්තේනුයි වීර නමි. මහත්වූ ශීලස්කන්ධ ආදිය සොයනුයි ගවේෂණය කරනුයි මහේසී නමි. විශේෂයෙන් ක්ලේශ ස්කන්ධ මාර ආදී වූ මාරයන් දිනන ලද්දේනුයි ජිතවා නමි. ඒ විජිතාවී නම් වූ සම්බුදු රජාණන් වහන්සේ. රනෙහි වර්ණය වැනි වර්ණය යම් සම්බුදුවරයකුට ඇද්ද උන්වහ්නසේ සුවණ්ණවණ්ණ නමි. ඒ රන්වන් සම්බුදු රජාණන් වහන්සේ දැක කවරෙක් නම් නොපහදීද යනුයි.
පරප්පසාදක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
65. භිසදායක ථේර අපදාන වර්ණනාව
වෙස්සභූ නාම නාමෙන යනාදි වහයෙන් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි ඇත් යෝනියක ඉපදී එහි වාසය කරයි. එසමයෙහි වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් හිමවතට පැමිණි සේක. උන්වහන්සේ දැක ඒ ඇත්රජ පහන් සිතැත්තේ නෙළුම් මුල් අල ගෙන භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. ඌ ඒ කුශල කර්මයෙන් ඇත් යෝනියෙන් චුතව දෙව්ලොව ඉපිද, එහි ෂට් කාමාවචර සම්පත් අනුභව කොට මිනිස් බවට පැමිණියේ මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදීන් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි මහා ධන ඇති එක්තරා කුලගෙයක උපන්නේය. පූර්ව වාසනා වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ පෙර කළ පිනෙහි නමින් භිසදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,
තමාගේ පූර්ව කර්මය සිහිකොට පූර්ව චරිතාපදානය දක්වන්නාහු වෙස්සභූනාම නාමෙන යනාදිය කීහ. එහි වෙස්සභූ යනු වෛශ්‍යයා ධුනාති ඉක්මවා යේනුයි වෙස්සභු. නැතහොත් වෛශ්‍යවාණිජ කර්මයෙහි හෝ කාමාරාගාදිය මෙන් කුසල් ආදි කර්මයෙහි හෝ වස්තු කාම ක්ලේශ කාමයන් මෙන් භුනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු උන්වහන්සේ නමින් වෙස්සභු නම් භාග්‍යවතුන් වහන්සේය. ඉසීනං තතියො අහු යනු කුශල කර්මයන් සොයන්නේනුයි ගවේෂණය කෙරේනුයි ඉසි නමි. විපස්සි සිඛි වෙස්සභු යැයි කියූ බැවින් තුන්වැනි ඉසි. තුන්වැනි භාග්‍යවතුන් වහන්සේ වූ සේක. කානනං වන මොගය්භා යනු කානන සංඛ්‍යාත වූ වනය ඔගාය්හ විසීය යන අර්ථයි.
භිසංමුලාළං ගණ්හිත්‍වා යනු පා දෙකක් ඇත්තවුන්ගේද පා සතරක් ඇත්තවුන්ගේද පිපාසය භිසති නසානුයි භිස නමි. නෙළුම් මුල භිසො මුලළො මුල් අල ද වෙයි. නෙළුම් අල ගෙනවුත් යන අර්ථයි. කරෙනව පරාමට්ඨො යනු ඒ මා විසින් දෙන ලද දානය. වෙස්සභු වරබුද්ධිනා උතුම් බුද්ධි ඇති වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින්.
කරෙන අත් තලයෙන් පරාමට්ඨො කරන ලද ස්පර්ශ ඇත්තේ විය. සුබාහං නාභිජානාමි සමං තෙන කුතුත්තරිං ඒ සැපයට සමාන සැපයක් නොදනිමි. එයට ඉහළ. එයින් අන්‍ය වූ එයට වැඩි සැපයක් කොයින්ද යන අර්ථයි. සෙස්ස නය අනුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
භිසදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
66. සුචින්තිත ථේර අපදාන වර්ණනාව
ගිරිදුග්ගචරො ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සුචින්ති තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පෙදෙසක වැදිකුලයෙක ඉපදී මුවන් ඌරන් ආදීන් මරා කමින් වාසය කරයි. එකල්හි ලෝකනාථයන් වහන්සේ ලෝකයාට අනුග්‍රහය ද, සත්ත්වයන්ට අනුග්‍රහය ද නිසා හිමවතට වැඩි සේක. එකල්හි ඒ වැද්දා පහන් සිතැත්තේ තමාට කෑම පිණිස ගෙන ආ උතුම් මධුර මාංශය භාග්‍යවතුන් වහන්සේට දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. එය වළඳා අනුමෝදන් කොට ආපසු වැඩි සේක. ඔහු ඒ පිනින් ඒ සොම්නසින් එයින් චුතව සුගතිවල සැරිසරන්නේ ෂට් කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදිය අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.