65. භිසදායක ථේර අපදාන වර්ණනාව
වෙස්සභූ නාම නාමෙන යනාදි වහයෙන් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි ඇත් යෝනියක ඉපදී එහි වාසය කරයි. එසමයෙහි වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ විවේක කැමති සේක් හිමවතට පැමිණි සේක. උන්වහන්සේ දැක ඒ ඇත්රජ පහන් සිතැත්තේ නෙළුම් මුල් අල ගෙන භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. ඌ ඒ කුශල කර්මයෙන් ඇත් යෝනියෙන් චුතව දෙව්ලොව ඉපිද, එහි ෂට් කාමාවචර සම්පත් අනුභව කොට මිනිස් බවට පැමිණියේ මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදීන් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි මහා ධන ඇති එක්තරා කුලගෙයක උපන්නේය. පූර්ව වාසනා වශයෙන් ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ පෙර කළ පිනෙහි නමින් භිසදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූවාහු,
තමාගේ පූර්ව කර්මය සිහිකොට පූර්ව චරිතාපදානය දක්වන්නාහු වෙස්සභූනාම නාමෙන යනාදිය කීහ. එහි වෙස්සභූ යනු වෛශ්‍යයා ධුනාති ඉක්මවා යේනුයි වෙස්සභු. නැතහොත් වෛශ්‍යවාණිජ කර්මයෙහි හෝ කාමාරාගාදිය මෙන් කුසල් ආදි කර්මයෙහි හෝ වස්තු කාම ක්ලේශ කාමයන් මෙන් භුනාති අභිභවනය කෙරේනුයි වෙස්සභු උන්වහන්සේ නමින් වෙස්සභු නම් භාග්‍යවතුන් වහන්සේය. ඉසීනං තතියො අහු යනු කුශල කර්මයන් සොයන්නේනුයි ගවේෂණය කෙරේනුයි ඉසි නමි. විපස්සි සිඛි වෙස්සභු යැයි කියූ බැවින් තුන්වැනි ඉසි. තුන්වැනි භාග්‍යවතුන් වහන්සේ වූ සේක. කානනං වන මොගය්භා යනු කානන සංඛ්‍යාත වූ වනය ඔගාය්හ විසීය යන අර්ථයි.
භිසංමුලාළං ගණ්හිත්‍වා යනු පා දෙකක් ඇත්තවුන්ගේද පා සතරක් ඇත්තවුන්ගේද පිපාසය භිසති නසානුයි භිස නමි. නෙළුම් මුල භිසො මුලළො මුල් අල ද වෙයි. නෙළුම් අල ගෙනවුත් යන අර්ථයි. කරෙනව පරාමට්ඨො යනු ඒ මා විසින් දෙන ලද දානය. වෙස්සභු වරබුද්ධිනා උතුම් බුද්ධි ඇති වෙස්සභු භාග්‍යවතුන් වහන්සේ විසින්.
කරෙන අත් තලයෙන් පරාමට්ඨො කරන ලද ස්පර්ශ ඇත්තේ විය. සුබාහං නාභිජානාමි සමං තෙන කුතුත්තරිං ඒ සැපයට සමාන සැපයක් නොදනිමි. එයට ඉහළ. එයින් අන්‍ය වූ එයට වැඩි සැපයක් කොයින්ද යන අර්ථයි. සෙස්ස නය අනුසාරයෙන් පහසුවෙන් දත හැක්කේ ම ය.
භිසදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
66. සුචින්තිත ථේර අපදාන වර්ණනාව
ගිරිදුග්ගචරො ආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් සුචින්ති තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවත් පෙදෙසක වැදිකුලයෙක ඉපදී මුවන් ඌරන් ආදීන් මරා කමින් වාසය කරයි. එකල්හි ලෝකනාථයන් වහන්සේ ලෝකයාට අනුග්‍රහය ද, සත්ත්වයන්ට අනුග්‍රහය ද නිසා හිමවතට වැඩි සේක. එකල්හි ඒ වැද්දා පහන් සිතැත්තේ තමාට කෑම පිණිස ගෙන ආ උතුම් මධුර මාංශය භාග්‍යවතුන් වහන්සේට දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පා පිණිස පිළිගත් සේක. එය වළඳා අනුමෝදන් කොට ආපසු වැඩි සේක. ඔහු ඒ පිනින් ඒ සොම්නසින් එයින් චුතව සුගතිවල සැරිසරන්නේ ෂට් කාමාවචර සම්පත් අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති සම්පත් ආදිය අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත් විය.
සිව්පිළිසිඹියා පස් අභිඥා ආදී භේදවලට පැමිණ තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ගිරිදුග්ගචරො ආසිං යනාදිය කීය. කතා කෙරේනුයි ශබ්ද කෙරේනුයි ගිරි නමි. ඒ කුමක්ද? ගල් පස් පර්වතයයි. දුට්ඨ දුකසේ යා යුතු වූයේ දුග්ගං දුග්ග නමි. පර්වත නිසා දුර්ගය නැගීමට අපහසු වේ යන අර්ථයි. ඒ ගිරිදුර්ගයෙහි පර්වත අතරෙහි චරො හැසිරෙන සුලු. ආසිං වීමි. අභිජාතොව කෙසරී යනු විශ්වාසයෙන් ජාතො උපන්නේ කෙසරීව කේශර සිංහයකු මෙන් ගිරි දුර්ගයෙහි හැසිරෙමි.
ගිරිදුග්ගං පවිසහං යනු මම එකල්හි ඒ මුවමස් දානයෙන් හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ පර්වත අතරට පිවිසියෙමි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
සුචින්තිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
67. වත්‍ථදායක ථේර අපදාන වර්ණනාව
පක්ඛිජාතො තදාආසිං යනාදි වශයෙන් ආයුෂ්මත් වත්‍ථදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නිවනට හේතුවන පින් රැස්කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගුරුළු යෝනියෙහි උපන්නේය. ගන්ධමාදන පර්වතයට වඩින්නා වූ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇතිව ගුරුළු ස්වරූපය හැර තරුණයකුගේ ස්වරූපය මවාගෙන මාහැඟි දිවසළුවක් ගෙනවුත් භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ භාග්‍යවතුන් වහන්සේ ද පිළිගෙන අනුමෝදනා වදාරා වැඩි සේක. හේ ඒ සොම්නසින් ම දවස් ගෙවා දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි වරින්වර සැරිසරන්නේ පින් අනුභවකොට එයින් මිනිසුන් අතර මනුෂ්‍ය සම්පත් ද යන සැමතැන මාහැඟි වස්ත්‍ර ආභරණද ලැබීය. ඉන්පසු උපනුපන් භවයෙහි වස්ත්‍ර සෙවනැල්ලෙහි ගිය ගිය තැන වසන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලෙකින්ම ෂට් අභිඥාවන්ට පැමිණි රහත් කෙනෙක් විය. පෙර කරන ලද පුණ්‍යකර්මයෙන් වත්‍ථදායක තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,
උන්වහන්සේ තමාගේ පුණ්‍යකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘පක්ඛිජාතො තදා ආසිං’ යනාදිය කීහ. එහි පක්ඛිජාතො යනු එයින් පනීනුයි. එයින් පාවේනුයි සකුන නමි. පියාපත් ‘පක්ඛමස්ස අත්‍ථීති’ ඔහුට පියාපත් ඇත්තේනුයි පක්ඛී නමි. පක්ඛිජාතො පක්ෂි යෝනියෙහි උපන්නේ යන අර්ථයි. සුපණ්ණො යනු සොඳුරු පියාපත් ඇත්තේ යමෙකුටද ඔහු සුපණ්ණ නමි. වාතය අල්ලා ගන්නා රන්වන් දිලිසෙන පියාපත් නමැති මහ බරක් ඇත්තේ යන අර්ථයි. ගරුළාධිපො යනු නයින් අල්ලා ගැනීම පිණිස ගරුං බර ගල් ගිලින්නෝනුයි ගරුළා. ගරුඬයන්ට අධිපති වූයේ රජ වූයේ ගරුළාධිපො නමි. විරාගී බුදුරජාණන් වහන්සේ මම දැක්කෙමි යන සම්බන්ධයි.