59. පද්ම ථේර අපදාන වර්ණනාව
චතුසච්චං පකාසෙන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් පදුම තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ පදුමුත්තර මුනීන්ද්‍රයන් වහන්සේ විසින් දහම් පහන දල්වනු ලබන කල්හි, එක් කුලගෙයක උපන්නේ ගෘහවාසයෙහි පිහිටා භෝග සම්පත් ඇත්තේයයි ප්‍රකට විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මහජනයා සමග ධර්මය අසන්නේ මහජනයා සමග නෙළුම්මල් කලඹක් ගෙන ඒ නෙළුම්මල් කලඹ අහසට දැමීය. ඒ අසිරිය දැක අතිශයින් හටගත් සොම්නස් ඇත්තේ විය. හේ දිවි ඇති තාක් කුසල්කොට දිවි කෙළවර ස්වර්ගයෙහි උපන්නේ ධජයක් මෙන් කාමාවචර සයෙහි ප්‍රකට වූයේ, පූජිත වූයේ දිව්‍ය සම්පත් අනුභවකොට මනුෂ්‍යයන් අතරෙහි ද චක්‍රවර්ති සම්පත් අනුභවකොට, මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති ශ්‍රද්ධා සම්පන්න එක් කුලගෙයක ඉපදී හටගත් සැදැහැ ඇත්තේ වයස අවුරුදු පහේදීම පැවිදිව නොබෝ කලකින්ම රහත්වී, කරන ලද පිනෙහි නමින් පදුම තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
තමාගේ පුණ්‍ය කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේන චතුසච්චං පකාසෙන්තො යනාදිය කීය. එහි සච්චං යනු සත්‍ය වූ අසත්‍ය නොවූ විපරීත නොවූ හෙයින් ඇත්ත නම් වේ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග වශයෙන් සතර සත්‍යයන් එක්තැන් චතුරාර්ය සත්‍යය චතුසච්චං. පකාසෙන්නො ලොවෙහි ප්‍රකට කරන්නේ යන අර්ථයි. වරධම්ම වස්සිතකො යනු උත්තම වූ දහම් වැසි වස්වන්නේ, ප්‍රකාශ කරන්නේ, යන අර්ථයි. අමතවුට්ඨි යනු අමෘත මහා නිර්වාණ නමැති වැසිදහර වස්වන්නේ, ගලා යවන්නේ, දෙවියන් සහිත ලෝවැස්සන් තෙමමින් තෙමෙන්තො සියලු කෙළෙස් දාහය නිවාලන්නේ ධර්ම නැමැති වර්ෂාව වස්වයි යන අර්ථයි.
සධජං පදුමං ගය්හ යනු ධ්වජය සමග එක්කොට පදුමං නෙළුම් මල් කලඹ රැගෙන යන අර්ථයි. අඩ්ඪකොසෙඨිතො අහං යනු දෙකම ඔසවා සිටි මම යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදුම තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
60. අසනබෝධිය ථේර අපදාන වර්ණනාව
ජාතියා සත්තවස්සොහං යනාදි වශයෙන් ආයුෂ්මත් අසනබෝධිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ තිසස් භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුලගෙයක ඉපදී වැඩිවිය පත්ව සුවපත්ව සසුනෙහි පැහැදී පියා නම් බෝ රුකෙන් ඵලයක්ද අසනබෝධියෙන්ගෙන ඒ බෝධියෙන් පහලට වැටෙන මුල්ද ගෙන, බෝධියක් රෝපණය කළේය. එය යම්සේ විනාශ නොවේද එසේ ජලය ඉසීම් ආදී කාර්යයෙන් රැක පූජා කළේය. හේ ඒ පිනින් දෙවිමිනිසුන් අතර සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ අවශ්‍ය කරුණු මුහුකුරා ගිය බැවින් සත්වැනි වයස්හිම පැවිදිව, හිස මුඩු කරද්දීම රහත් බවට පත්විය. පෙර කරන ලද පිනෙහි නමින් අසනබෝධිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට වූයේ,
පුණ්‍ය සම්භාරය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ජාති සත්තවස්සොහං යනාදිය කීය. එහි ජාතියා යනු මව්කුසින් උපන්කල්හි පටන් යන අර්ථයි. සත්වස් වූයේ පිරිපුන් සම්පත්අ ැත්තේ මම ලෝකනායක වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේ දුටුවෙමි යනු සම්බන්ධයි. පසන්නචිත්තො සුමනො යනු ප්‍රසන්න නොසැලුණු කම්පා නොවූ සිත් ඇත්තේ සුමනො සොඳුරු මනස් ඇත්තේ සොම්නස් සහගත සිත් ඇත්තේ යන අර්ථයි.
තිස්සස්සාහං භගවතො යනු “තෙවරක් උපන් හෙතෙම මාතුගබ්භතො මනුෂ්‍ය ජාතියෙන් පඤ්චස්කන්ධයෙන් මිදී ජාතො උපන්නේ. බුදුවූයේ යන අර්ථයි.” ඒ තාදී ගුණ ඇති ලෝකයට ජ්‍යෙෂ්ඨ උත්තම වූ තිස්ස භාග්‍යවතුන් වහන්සේගේ අසනබෝධිය රෝපණය කෙළෙමි යන සම්බන්ධයි.
අසනො නාමධෙය්‍යෙන යනු නාම ප්‍රඥප්තියෙන් නාම සංඥාවෙන් අසනොනාම අසන නම් බෝධියක් විය යන අර්ථයි. ධරණීරුහපාදපො යනු ගස්-වැල් පර්වත ගංගා සාගර ආදීන් දරානුයි ධරණී නමි. ඒ කවරක්ද? පෘථිවියයි. එහි රුහති පිහිටා සිටීනුයි ධරණීරුහ නමි. පාදයෙන් පානය කෙරේනුයි පාදප නමි. පාද සංඛයාත වූ මුලින් ඉසින ලද ජලය පානය කරයි. ආපොරසං තෙතමනය දරානුයි අර්ථයි. ධරණීරුහ වූයේද පාදප වූයේද එය ධරණීරුහපාදප නමි. ඒ උතුම් වූ අසනබෝධිය පස්වසක් පරිචරිං පෝෂණය කෙළෙමි යන අර්ථයි.
පුප්ඵිතං පාදපං දිස්වා යනු ඒ මා විසින් පෝෂණය කරනු ලැබූ අසනබෝධි වෘක්‍ෂය මල් පිපී ආශ්චර්ය අද්භූතව රෝමෝද්ගමනය කරනු දැක සකං කම්මං තමාගේ කර්මය පකිත්තෙන්තො මනාව කියමින් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ළඟට ගියෙමි යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේමය.