6. බීජනි වර්‍ගය
51. විධූපනදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස බුද්ධස්ස ආදි වශයෙන් ආයුෂ්මත් විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ධනසම්පත් ඇත්තේ හටගත් ශ්‍රද්ධා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනේ ග්‍රීෂ්ම කාලයෙහි රන්රිදී මුතුමැණික් මුවා විජිනිපතක් කරවා භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන්කල්හි එක් කුලගෙයක උපන්නේ ගෘහ බන්ධනයෙන් බැඳී ගිහිගෙයි ආදීනව ද පැවිද්දෙහි ආනිසංස ද දැක ශ්‍රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් විය.
“මා විසින් ඒ පුණ්‍යකර්මයෙන් මේ ලෝකෝත්තර සම්පත්තිය ලබන ලද්දේය”යි තමාගේ පූර්ව කර්මය සිහිකරන්නේ එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස බුද්ධස්ස යනාදිය කීය. එය යට කියන ලද පරිදි වේ. වීජනිකා මයා දින්නා යනු විශේෂයෙන් තාපයට පැමිණි සත්ත්වයන්ගේ උෂ්ණය නිබ්බාපෙති නිවයි. සීතල වාතය උපදවයිනුයි වීජනී නමි. වීජනී ම වීජනිකා නමි. සත්රුවන් මුවා විජිනිපත කරවා දෙන ලද්දේය යන අර්ථයි.
විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
52. සතරංසික ථේර අපදාන වර්ණනාව
උච්චියං සෙලමාරුය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් සතරංසික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ දැනමිති බවට පත්වූයේ සංස්කෘත ව්‍යාකරණයෙහිද ත්‍රිවේදයෙහිද පරතෙරට ගියේ ගිහිගෙයි වාසය හැර අරණ්‍යයට පිවිස සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවතෙහි වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකය කැමති බැවින් එක් උස් පර්වතයකට නැග දැල්වෙන ගිනිකඳක් මෙන් වැඩහුන් සේක. එසේ වැඩහුන් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තාපසයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලි බැඳ නොයෙක් කරුණින් ස්තුති කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් එයින් චුතවූයේ කාමාවචර දේවලෝක සයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට එයින් මනුෂ්‍ය ලෝකයෙහි සතරංසි නම් සක්විති රජව උපන්නේ ය. ඒ සම්පත්තියද නොයෙක්වර අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්‍ය සම්භාර වශයෙන් ඥානය මුහුකුරා ගිය බැවින් සත්හැවිරිදි වියෙහිම පැවිදිව රහත් විය.
උන්වහන්සේ මම කිනම් කර්මයකින් සත්හැවිරිදි වියෙහිදීම නිර්වාණයට පැමිණියේ වෙම්දැයි සිහි කරන්නාහු පූර්ව කර්මය ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය උදාන වශයෙන් ප්‍රකාශ කරන්නාහු උච්චියං සෙලමාරුය්හ යනාදිය කීහ. එහි උච්චියං යනු උස සෙල්මුවා පර්වතයට නැග පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩහුන් සේක යනු සම්බන්ධයි. පබ්බතස්සාවිදුරම්හි යනු භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් පර්වතයට ආසන්න ස්ථානයෙහි යන අර්ථයි. බ්‍රාහ්මණො මන්තපොරගු යනු මන්ත්‍ර සංඛ්‍යාත තුන්වේදයෙහි පාරං අවසානයට, කෙළවරට ගිය එක් බ්‍රාහ්මණයෙක් යන අර්ථයි. අනිකකු මෙන් තමා නිර්දේශ කරයිද මොහු මන්තපාරගු නමි. උපවිට්ඨංමහාවීරං යනු එම පර්වතයෙහි වැඩහුන් වීරවත් වූ විශිෂ්ට වූ බුදුරජාණන් වහන්සේ දෙවදෙවං සියලු කාමාවචර බ්‍රහ්මයන්ට හා දෙවියන්ට උතුම් දෙවි වූ නරාසභං නරයන්ට ආසහං ශ්‍රේෂ්ඨ වූ. ලොකනායකං සියලු සත්වලෝකය ගෙනයන්නා වූ නිවනට පමුණුවන්නා වූ, මම අඤ්ජලිං දසනිය එක්කර තැනූ ඇඳිලිය. සිරසි මුදුනෙහි පග්ගහෙත්‍වාන පිහිටුවා. සත්‍ථවිං මනාසේ ස්තුති කෙළෙමි යන සම්බන්ධයි.
අභාසථ යනු ‘යම්හෙයකින් මොහු ඈඳිලි දුන්නේ -පෙ- ඔහු රහත් වන්නේය’යයි ප්‍රකාශ කළ සේක. සෙස්ස කී පරිදි ම වෙයි.
සතරංසික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
53. ශයනදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරබුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි පිහිටා සැප අනුභව කරමින් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසා ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ ඇත්දත් රන්රිදී මුතුමැණික් මුවා මාහැඟි ඇඳක් කරවා චීනපට කම්බිලි ආදිය අතුරා සැතපෙනු පිණිස භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරන්නාහු එහි සැතපුණු සේක. ඔහු එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ ඊට අනුරූප වූ අහස් ගමන් සැප සයන ආදී සැප අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණි ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා පහන් වූ සිතැත්තේ පැවිදිව විදර්ශනා වඩන්නේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ තමාගේ පූර්වකර්මය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය යට කී අර්ථ ඇත්තේ ම ය.