58. ධ්වජදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සුන්දර වූ නොයෙක් වස්ත්රයන්ගෙන් කොඩි කරවා ධ්වජ පූජාවක් කළේය. හේ එම පුණ්යකර්මයෙන් උපනුපන් භවයන්හි උසස් කුලවලම උපන්නේ පූජා ලැබිය යුතු කෙනෙක් වූයේය. පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී මහාභෝග ඇත්තේ යසස් ඇත්තේ උපන් සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ගිහිගෙය අතහැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එහි අර්ථය පෙර කියන ලද්දේ ම ය. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු සොම්නස් සහගත සිත් ඇති බැවින් සතුටු වූයේ පිරිපුන් රූපකාය ඇත්තේ, ශ්රද්ධා සම්ප්රයුක්ත සිත් ඇති බැවින් හට්ඨෙන චිත්තෙන සතුටු වූ සිතින් යන අර්ථයි. ධජමාරොපයිං අහං යනු සෙලවෙතියි. කම්පනය වෙතියි. සැලෙතියි ධජනම් වේ. එම ධජය ආරොපයිං උණගසෙක අග බැඳ පූජාකෙළෙමි යන අර්ථයි.
සත පත්තානි ගණහිත්වා යනු වැටුණු බෝකොළ සියයක් ගෙන මම පිටතට විසිකෙළෙමි යන අර්ථයි. අන්තො සුද්ධං බහිසුද්ධං යනු අන්තො චිත්ත සන්තානය නමැති කයින්ද, බහි චක්ඛුසෝත ආදී රූප කායෙන්ද සුද්ධං අතිශයින් මුදුණු, කිලෙසතො විමුත්තං කෙළෙසුන්ගෙන් මිදුණු, ආශ්රව රහිත වූ සම්බුදුන් වහන්සේ හමුවෙහි මනේ බෝධිය අවන්දිං වැන්දෙමි. යන අර්ථයි. සෙස්ස සියලු තැන කියන ලද අර්ථ ඇත්තේ ම ය.
ධජදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
59. පද්ම ථේර අපදාන වර්ණනාව
චතුසච්චං පකාසෙන්තො යනාදි වශයෙන් ආයුෂ්මත් පදුම තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද කුසල සම්භාර ඇත්තේ පදුමුත්තර මුනීන්ද්රයන් වහන්සේ විසින් දහම් පහන දල්වනු ලබන කල්හි, එක් කුලගෙයක උපන්නේ ගෘහවාසයෙහි පිහිටා භෝග සම්පත් ඇත්තේයයි ප්රකට විය. හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මහජනයා සමග ධර්මය අසන්නේ මහජනයා සමග නෙළුම්මල් කලඹක් ගෙන ඒ නෙළුම්මල් කලඹ අහසට දැමීය. ඒ අසිරිය දැක අතිශයින් හටගත් සොම්නස් ඇත්තේ විය. හේ දිවි ඇති තාක් කුසල්කොට දිවි කෙළවර ස්වර්ගයෙහි උපන්නේ ධජයක් මෙන් කාමාවචර සයෙහි ප්රකට වූයේ, පූජිත වූයේ දිව්ය සම්පත් අනුභවකොට මනුෂ්යයන් අතරෙහි ද චක්රවර්ති සම්පත් අනුභවකොට, මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති ශ්රද්ධා සම්පන්න එක් කුලගෙයක ඉපදී හටගත් සැදැහැ ඇත්තේ වයස අවුරුදු පහේදීම පැවිදිව නොබෝ කලකින්ම රහත්වී, කරන ලද පිනෙහි නමින් පදුම තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
තමාගේ පුණ්ය කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේන චතුසච්චං පකාසෙන්තො යනාදිය කීය. එහි සච්චං යනු සත්ය වූ අසත්ය නොවූ විපරීත නොවූ හෙයින් ඇත්ත නම් වේ. දුක්ඛ සමුදය නිරෝධ මග්ග වශයෙන් සතර සත්යයන් එක්තැන් චතුරාර්ය සත්යය චතුසච්චං. පකාසෙන්නො ලොවෙහි ප්රකට කරන්නේ යන අර්ථයි. වරධම්ම වස්සිතකො යනු උත්තම වූ දහම් වැසි වස්වන්නේ, ප්රකාශ කරන්නේ, යන අර්ථයි. අමතවුට්ඨි යනු අමෘත මහා නිර්වාණ නමැති වැසිදහර වස්වන්නේ, ගලා යවන්නේ, දෙවියන් සහිත ලෝවැස්සන් තෙමමින් තෙමෙන්තො සියලු කෙළෙස් දාහය නිවාලන්නේ ධර්ම නැමැති වර්ෂාව වස්වයි යන අර්ථයි.
සධජං පදුමං ගය්හ යනු ධ්වජය සමග එක්කොට පදුමං නෙළුම් මල් කලඹ රැගෙන යන අර්ථයි. අඩ්ඪකොසෙඨිතො අහං යනු දෙකම ඔසවා සිටි මම යන අර්ථයි. සෙස්ස සියලු තැන නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
පදුම තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.