55. ඕපවය්හ ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ඔපවුය්හ තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයා ලොව පහළවූ කල්හි එක් ධනසම්පත් ඇති කුලයක උපන්නේ දැනමිති බවට පත් ව මහාධන ඇත්තේ මහභෝග සම්පත් ඇත්තේ ගිහිගෙයි වසමින් සසුනෙහි පැහැදුණේ ශාස්තෲන් කෙරෙහි පහන් බුහුමන් ඇත්තේ ආජානීය සෛන්ධව අශ්වයකු පූජා කළේය. එසේ පුදා බුද්ධාදී ශ්‍රමණයන්ට ඇත් අසුන් ආදී දේ නො කැපය. කැප බඩුවක් දෙමියි සිතා එය මිලකරවා එම අගය ඇති කහවණුවලින් කපු පිළි සිවුරු ද, කම්බිලි හා පළස් ද, කපුරු, කපුකිනිස්ස ආදීකොට ඇති බෙහෙත් පිරිකර ද දුන්නේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දිවි ඇතිතෙක් සිට එයින් චුතවූයේ දෙවියන් අතර ද මිනිසුන් අතරද ඇත් අස් ආදී නොයෙක් වාහනයන් ඇතිව සැප අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ, දැනමිති බවට පත්වූයේ, සැදැහැ ඇත්තේ, සසුනෙහි පැවිදිව කමටහන් ගෙන විදසුන් වඩා මාර්ග පිළිවෙලින් රහත් බවෙහි පිහිටියේය. පෙර කරන ලද පුණ්‍ය සම්භාර වශයෙන් ඔපවුය්හ තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.
උන්වහන්සේ කිනම් කරුණකින් මා විසින් මේ නිවන්පදය අවබෝධ කරන ලද්දේ’දැයි සලකා බලන්නාහු පූර්වකර්මය ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂයෙන් දැන හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය උදාන වශයෙන් ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද පරිදි ම ය. ආජානීයමදාසහං යනු උතුම් වූ ජාති සෛන්ධවයකු මම අදාසිං පූජා කෙළෙමි යන අර්ථයි.
සපත්තභාරො යනු තමාට පැමිණි අටපිරිකර බර ඇත්තේ යමකුටද හේ සපත්තභාර නමි. අටපිරිකරින් යුතු යන අර්ථයි.
ඛමනීයමදාසහං යනු ඛමනීයං යෝග්‍ය වූ සිවුරු ආදී කැප පිරිකර යන අර්ථයි.
චරිමො යනු අවසාන කෙළවරට පැමිණි භවය’ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
ඔපවුය්හ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
56. සපරිවාරාසන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වහයෙන් ආයුෂ්මත් සපරිවාරාසන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි තැනින්තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇතිකුලයක උපන්නේ වැඩිවිය පත් වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැහැදුණේ දානඵලය අදහන්නේ නොයෙක් අග්‍රරස භෝජනයෙන් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය දුන්නේ ය. දීද වනාහි බොජුන් හලෙහි බොජුන් පිණිස වැඩහුන් අසුන දෑසමන් ආදී මලින් අලංකාර කළේය. භාග්‍යවතුන් වහන්සේ ද භුක්තානුමෝදනාව කළ සේක. හෙතෙමේ ඒ පුණ්‍යකර්මයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නානාවිධ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ මෙසේ පැමිණි ශාන්තිපද ඇත්තේ ‘කවරනම් පිනකින් මේ ශාන්තිපදයට පැමිණියෙම්දැ’යි ඥානයෙන් සලකා බලන්නාහු පූර්ව කර්මය දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. පිණ්ඩපාතමදාසහං යනු ඒ ඒ තැන පිඬු ගුළි ගුළිකොට පිය යුතු බැවින් කෑයුතු බැවින් ආහාරො පිණ්ඩපාතය. ඒ පිණ්ඩපාතය භාග්‍යවතුන් වහන්සේට දුනිමි. භාග්‍යවතුන් වහන්සේ වැළඳවූයෙමි යන අර්ථයි.
අකිත්තයි පිණ්ඩපාතං යනු මා විසින් දෙන ලද පිණ්ඩපාතයෙහි ගුණං ආනිසංස ප්‍රකාශ කළ සේක යන අර්ථයි.
සංවුතො පාතිමොක්ඛස්මිං යනු ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සීල සංවෘත වූයේ පිහිතො වැසුණේ යන අර්ථයි. ඉන්‍ද්‍රියෙසුච පඤ්චසු චක්‍ෂු ඉන්‍ද්‍රිය ආදී පසිඳුරන්හි රූප ආදියෙන් ගොපිතො ඉන්ද්‍රිය සංවර සීලය ද පාලනය කරන ලද්දේ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.