56. සපරිවාරාසන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වහයෙන් ආයුෂ්මත් සපරිවාරාසන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයන්හි තැනින්තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇතිකුලයක උපන්නේ වැඩිවිය පත් වූයේ සැදැහැ ඇත්තේ සසුනෙහි පැහැදුණේ දානඵලය අදහන්නේ නොයෙක් අග්රරස භෝජනයෙන් භාග්යවතුන් වහන්සේට පිණ්ඩපාතය දුන්නේ ය. දීද වනාහි බොජුන් හලෙහි බොජුන් පිණිස වැඩහුන් අසුන දෑසමන් ආදී මලින් අලංකාර කළේය. භාග්යවතුන් වහන්සේ ද භුක්තානුමෝදනාව කළ සේක. හෙතෙමේ ඒ පුණ්යකර්මයෙහි දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ නානාවිධ සම්පත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්ව සැදැහැ ඇත්තේ පැවිදි ව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ මෙසේ පැමිණි ශාන්තිපද ඇත්තේ ‘කවරනම් පිනකින් මේ ශාන්තිපදයට පැමිණියෙම්දැ’යි ඥානයෙන් සලකා බලන්නාහු පූර්ව කර්මය දැක හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. පිණ්ඩපාතමදාසහං යනු ඒ ඒ තැන පිඬු ගුළි ගුළිකොට පිය යුතු බැවින් කෑයුතු බැවින් ආහාරො පිණ්ඩපාතය. ඒ පිණ්ඩපාතය භාග්යවතුන් වහන්සේට දුනිමි. භාග්යවතුන් වහන්සේ වැළඳවූයෙමි යන අර්ථයි.
අකිත්තයි පිණ්ඩපාතං යනු මා විසින් දෙන ලද පිණ්ඩපාතයෙහි ගුණං ආනිසංස ප්රකාශ කළ සේක යන අර්ථයි.
සංවුතො පාතිමොක්ඛස්මිං යනු ප්රාතිමෝක්ෂ සංවරයෙන් සීල සංවෘත වූයේ පිහිතො වැසුණේ යන අර්ථයි. ඉන්ද්රියෙසුච පඤ්චසු චක්ෂු ඉන්ද්රිය ආදී පසිඳුරන්හි රූප ආදියෙන් ගොපිතො ඉන්ද්රිය සංවර සීලය ද පාලනය කරන ලද්දේ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
සපරිවාරාසන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
57. පඤ්චදීපක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් දීපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයන්හි පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ගිහිගෙයි වසන්නේ ධර්මය අසා සම්යක් දෘෂ්ටියෙහි පිහිටියේ සැදැහැ ඇත්තේ පහන් වූයේ මහජනයා බෝධිපූජා කරනු දැක බෝධිය වටා පහන් දල්වා බෝධියට පූජා කළේය. හේ ඒ පුණ්ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ චක්රවර්ති සම්පත් ආදිය අනුභවකොට උපන් සෑම භවයන්හිම බබලමින් ජෝතිමත් විමාන ආදියෙහි වැස, මේ බුද්ධෝත්පාද කාලෙයහි එක් ධනසම්පත් ඇති කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ උපන් සැදැහැ ඇත්තේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය. පහන් පූජාවේ පිනින් දීපක තෙරුන් වහන්සේ යයි ප්රකට වූයේ,
උන්වහන්සේ එක් දවසක් තමාගේ පූර්ව කර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එය කියන ලද අර්ථ ඇත්තේ ම ය. උජුදිට්ඨි අහොසහං යනු වංකවූ මිථ්යා දෘෂ්ටිය හැරදමා සෘජු වූ අවංක වූ නිර්වාණ අභිමුඛයට පමුණුවන සම්යක් දෘෂ්ටි ඇත්තේ වීමි යන අර්ථයි.
පදීපදානං පාදාසිං යනු මේ මැනවින් දැල්වෙයි. දිලෙයි යනු පදීප නම් වේ. ඒ දානය ප්රදීප දානයයි. අදාසිං ප්රදීප පූජාවක් කෙළෙමි යන අර්ථයි. සෙස්ස සැමතැන නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
දීපක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
58. ධ්වජදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද සුන්දර වූ නොයෙක් වස්ත්රයන්ගෙන් කොඩි කරවා ධ්වජ පූජාවක් කළේය. හේ එම පුණ්යකර්මයෙන් උපනුපන් භවයන්හි උසස් කුලවලම උපන්නේ පූජා ලැබිය යුතු කෙනෙක් වූයේය. පසුකලෙක මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්ව අඹුදරුවන් සමග වැඩී මහාභෝග ඇත්තේ යසස් ඇත්තේ උපන් සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ගිහිගෙය අතහැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පැමිණි අර්හත්ඵල ඇත්තාහු පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු පදුමුත්තර බුද්ධස්ස යනාදිය කීහ. එහි අර්ථය පෙර කියන ලද්දේ ම ය. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු සොම්නස් සහගත සිත් ඇති බැවින් සතුටු වූයේ පිරිපුන් රූපකාය ඇත්තේ, ශ්රද්ධා සම්ප්රයුක්ත සිත් ඇති බැවින් හට්ඨෙන චිත්තෙන සතුටු වූ සිතින් යන අර්ථයි. ධජමාරොපයිං අහං යනු සෙලවෙතියි. කම්පනය වෙතියි. සැලෙතියි ධජනම් වේ. එම ධජය ආරොපයිං උණගසෙක අග බැඳ පූජාකෙළෙමි යන අර්ථයි.