537. කොට්ඨිත ථේර අපදාන වර්ණනාව
සත්වැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේගේ අපදානයයි. උත්පත්තිය කුමක්ද? මෙතෙමේද පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහාභෝග ඇති කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ මව්පියන් ඇවෑමෙන් පවුල තබා ගෘහවාසයෙහි වසන්නේ එක් දවසක් පදුමුත්තර භාග්යවතුන් වහන්සේ දහම් දෙසන කල්හි හංසවතී නගරවාසීන් සුවඳමල් ආදිය ගත් අත් ඇතිව යම්තැනෙක බුදුරජාණන් වහන්සේ සිටින සේක්ද, ධර්මය යම්තැනෙක වේද, සංඝයා යම්තැනෙක වේද ඒ නිම්නයන්ට ඒ පොකුණුවලට ඒ බෑවුම්වලට යනු දැක ඔවුන් සමග භාග්යවතුන් වහන්සේ කරා එළඹ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක පිළිසිඹියාවන්ට පත්වූවන් අතුරින් අගතන්හි තබනු දැක ‘මුන්වහන්සේ මේ සසුනෙහි පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අග්රය. එක් බුදුවරයකුගේ සසුනෙහි මුන්වහන්සේ මෙන් පිළිසිඹියාවන්ට පත්වූවන්ගෙන් අග්ර වන්නෙමි නම් මැනවැයි සිතා ශාස්තෲන් වහන්සේගේ දේශනාවසානයෙහි පිරිස නැගී සිටිකල්හි භාග්යවතුන් වහන්සේ කරා එළඹ ‘ස්වාමීනි, හෙට මාගේ ගෙයි භික්ෂාව ගනු මැනවැ’යි ආරාධනා කළේය. ශාස්තෲන් වහන්සේ ඉවසා වදාළ සේක. හේ භාග්යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට තමාගේ ගෙට ගොස් මුළු රෑම බුදුරජාණන් වහන්සේටද භික්ෂු සංඝයාටද වැඩහිඳිනා තැන් සුවඳමල් ආදියෙන් අලංකාරකොට කෑයුතු දෑ බිය යුතු දෑ පිළියෙල කරවා ඒ රෑ ඇවෑමෙන් තම නිවසෙහි භික්ෂූන් සියදහසක් පිරිවරකොට ඇති ශාස්තෲන් වහන්සේ විවිධ කැඳකැවිලි පිරිවරකොට ඇති සූපව්යඤ්ජන සහිත සුවඳහැල් බොජුන් වළඳවා බත් කිස අවසන්හි මෙසේ සිතීය. ‘මම මහත් වූ තනතුරක් පතමි. මා විසින් එක් දවසක් පමණක් දනක් දී ඒ තනතුර පතන්ට නුසුදුසුය. අනුපිළිවෙලින් සත්දිනක් දන් දී ප්රාර්ථනා කරන්නෙමි’යි ඔහු එපරිද්දෙන්ම සත්දිනක් මහදන් දී බත්කිස අවසන්හි ඔහුගේ කොටුගෙවල් විවර කරවා උතුම් වූ තුන් සිවුරුවලට පොහොනා සූක්ෂම රෙදි බුදුන් පාමුල තබා භික්ෂූන්ට සියදහසක් සිවුරු දී තථාගතයන් වහන්සේ කරා එළඹ ‘ස්වාමීනි, ඔබවහන්සේ විසින් මෙයින් සත්වැනි දවසෙහි යම් භික්ෂූවක් පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අගතන්හි තබන ලද්දේද, මම ද ඒ භික්ෂුව මෙන් අනාගතයෙහි උපදින්නා වූ බුදුකෙනකුගේ සසුනෙහි පැවිදි ව පිළිසිඹියාවන්ට පැමිණියවුන් අතර අග්ර වන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ පාමුල වැදහෙව ප්රාර්ථනාවක් කළේය. ශාස්තෲන් ඔහුගේ ප්රාර්ථනාව සමෘද්ධ වන බව ‘අනාගතයෙහි මෙයින් වර්ෂ සියදහසක් මතුයෙහි ගෞතම නම් බුදුකෙනෙක් ලොව පහළවන සේක. උන්වහන්සේගේ සසුනෙහි ඔබගේ ප්රාර්ථනාව සමෘද්ධ වන්නේයයි ප්රකාශ කළ සේක. හේ එහි දිවි ඇතිතාක් පින්කොට එයින් චුතවූයේ උභය සම්පත් අනුභවකොට කලින් කල දෙවිමිනිසුන් අතර පරිභ්රමණය විය.
මෙසේ ඔහු සැරිසරන්නේ පින් රැස් කරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයක උපන්නේය. කොට්ඨිතයයි ඔහුට නමක් තැබූහ. කුමක් නිසා මවගේ හෝ මුතුන් මිත්තන්ගේ නමක් හෝ නොගෙන මෙසේ නමක් තැබුවාහුද. තමාගේ නුවණැති බව නිසාත් වේදාංගයන්හි හා ස්වතර්ක පරතර්ක ආදියෙහිද, නිඝණ්ඩු සහිත කේටුහ ශාස්ත්රයන්හිද අක්ෂර සහිත ප්රභේද සසහිත සියලු ව්යාකරණයන්හිද දක්ෂ වූ බැවින්ද ජ්යෙෂ්ඨ වූ ශ්රේෂ්ඨ වූ ජනයන් සැරපරුෂ වදන් නමැති ආයුධවලින් පහර දෙන්නේ නැවත නැවත පහර දෙන්නේ විදින්නේ හැසිරෙතියි අන්වර්ථ නමක් කළාහුයයි දතයුතුය. හේ වැඩිවිය පත්වූයේ වේදත්රය ඉගෙන බ්රාහ්මණ ශිල්පයෙහි නිෂ්පත්තියට ගියේ, එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදි ව උපසපන් කාලයෙහි පටන් විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ පිළිසිඹියා සහිත රහත් බවට පත්ව පිළිසිඹියාවන්හි ප්රගුණ වී නිර්භය වූයේ මහ තෙරුන් වහන්සේලා වෙත එළඹ ප්රශ්න විචාරන්නේ පටිසම්භිදාවන් ගැනම ප්රශ්න ඇසීය. මෙසේ මේ තෙරුන් වහන්සේ එහි කරන ලද උත්සාහ ඇති බැවින්ද එහි ප්රවීණත්වය නිසාද පිළිසිඹියාවන්ට පත්වූවන් අතර අග්ර වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මහාවේදල්ල සූත්රය අර්ථ උත්පත්තිය කොට පිළිසිඹියාවන්ට පත්වූවන්ගේ අගතන්හි තැබූ සේක. ‘මහණෙනි, මාගේ ශ්රාවක භික්ෂූන්ගෙන් පිළිසිඹියාවන්ට පත්වූවන් අතර යම් කෙනෙක් අග්ර වේද ඒ මහාකොට්ඨිතය යනුවෙන්.
උන්වහන්සේ පසුකලෙක විමුක්ති සැප කෙරෙහි සංවේදී වන්නාහු හටගත් සොම්නස් ඇතිව තමාගේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු පදුමුත්තරොනාම ජිනො යනාදිය කීහ. ඒ සියල්ල යට කියන ලද පරිද්දෙන් නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
ඉත්ථංසුදං ආයස්මා මහා කොට්ඨිතො යනු මෙහි සුදං යනු නිදර්ශනාර්ථයෙහි නිපාතයි. ආයස්මා ගෞරව සම වචනයකි. ආයස්මා මහා මොග්ගල්ලානො මෙනි.
මහාකොට්ඨිත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
538. උරුවේලකස්සප ථේර අපදාන වර්ණනාව
අටවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් උරුවෙලකස්සප තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක මහා පිරිවර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර ප්රාර්ථනා කරන්නේ මහදන් දී ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ අන්තරායක් නැති බව දැක ‘අනාගතයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මහ පිරිවර ඇත්තවුන් අතර අග්ර වන්නේ යයි ප්රකාශ කළ සේක. හේ එහි දිවි ඇතිතාක් පින්කොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මින් කල්ප අනූදෙකක් මතුයෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ වෛමාතෘක කණිටුබෑයා වී උපන්නේය. ඔහුට තවත් කණිටුබෑයන් දෙදෙනෙක් වූහ. ඔවුහු ඉන්පසු බුදුපාමොක් භික්ෂු සංඝයාට ආරාධනා කොට පරම පූජාවෙන් පූජාකොට දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බරණැස බමුණු කුලයෙහි සහෝදරයන් තිදෙනෙක්ව උපන්නාහු ගෝත්ර වශයෙන් තිදෙනම කාශ්යපයෝ යැයි නම් ඇත්තෝ වූහ. ඔවුහු වැඩිවිය පත් වූවාහු වේදත්රය උගත්තෝය. ඔවුන්ගෙන් දෙටු සොහොයුරාට පන්සියයක් මානවකයෝ පිරිවර වූහ. මද්දුමයාට තුන්සියයක්ද බාලයාට දෙසියයක්ද වූහ. ඔවුහු තමන්ගේ ග්රන්ථවල හරය බලන්නාහු දිට්ඨධම්මික බව දැක පැවිද්ද රුචි කළහ. ඔවුන් අතුරින් දෙටු සොහොයුරා තමාගේ පිරිවර සමග උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදි ව උරුවෙල කස්සප නම් විය. මද්දුමයා ගංගානදිය සමීපයෙහි පැවිදි වූයේ නදී කස්සප නම් විය. බාලයා ගයා ශීර්ෂයෙහි පැවිදි වූයේ ගයා කස්සප නම් විය. ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදි ව තැනින්තැන වසන කල්හි බොහෝ දවස් ඇවෑමෙන් අපගේ බෝසතුන් වහන්සේ මහබිනික්මන් කොට අවබෝධ කරගත් සර්වඥතාඥාන ඇති සේක් අනුක්රමයෙන් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත් බවෙහි පිහිටුවා යසකුල පුත්රයා ප්රමුඛ යහළුවන් පනස්පස්දෙන හික්මවා රහතන් සැටදෙන ‘මහණෙනි, චාරිකා කරවු’ යයි යවා භද්රවාර්ගිකයන් තිස්දෙන හික්මවා උරුවෙල කාශ්යපයන් වසන ස්ථානයට වැඩමවා වසනු පිණිස ගිනිහල්ගෙයට පිවිස එහි කරන ලද නාගදමන ආදී වූ දහසින් අඩින් අඩක් ප්රාතිහාර්යයන්ගෙන් උරුවෙල කස්සප සහපිරිවරින් හික්මවා පැවිදි කරවූ සේක. ඔහුගේ පැවිදි විධානය ද සෘද්ධි ප්රාතිහාර්ය කිරීම ද සියල්ල නදී කස්සප අපදාන අටුවාවෙහි පහළ වන්නේය. ඔහු පැවිදි වූ බව අසා අනිත් සහෝදරයෝ දෙදෙනද පිරිවර සහිතව පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඒ සියලුදෙන සෘද්ධිමය පාසිවුරු දරන්නාහු ඒහිභික්ෂු වූහ. ශාස්තෲන් වහන්සේ ඒ මහණුන් දහස රැගෙන ගයා ශීර්ෂයට වැඩමවා ගලක් මත වැඩහුන් සේක් ආදිත්ත පරියාය දේශනාවෙන් ඒ සියලුදෙන රහත්බවෙහි පිහිටවූ සේක.