538. උරුවේලකස්සප ථේර අපදාන වර්ණනාව
අටවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් උරුවෙලකස්සප තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක මහා පිරිවර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක තමා ද ඒ තනතුර ප්රාර්ථනා කරන්නේ මහදන් දී ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ අන්තරායක් නැති බව දැක ‘අනාගතයෙහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි මහ පිරිවර ඇත්තවුන් අතර අග්ර වන්නේ යයි ප්රකාශ කළ සේක. හේ එහි දිවි ඇතිතාක් පින්කොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මින් කල්ප අනූදෙකක් මතුයෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ වෛමාතෘක කණිටුබෑයා වී උපන්නේය. ඔහුට තවත් කණිටුබෑයන් දෙදෙනෙක් වූහ. ඔවුහු ඉන්පසු බුදුපාමොක් භික්ෂු සංඝයාට ආරාධනා කොට පරම පූජාවෙන් පූජාකොට දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නාහු අපගේ භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පෙරාතුවම බරණැස බමුණු කුලයෙහි සහෝදරයන් තිදෙනෙක්ව උපන්නාහු ගෝත්ර වශයෙන් තිදෙනම කාශ්යපයෝ යැයි නම් ඇත්තෝ වූහ. ඔවුහු වැඩිවිය පත් වූවාහු වේදත්රය උගත්තෝය. ඔවුන්ගෙන් දෙටු සොහොයුරාට පන්සියයක් මානවකයෝ පිරිවර වූහ. මද්දුමයාට තුන්සියයක්ද බාලයාට දෙසියයක්ද වූහ. ඔවුහු තමන්ගේ ග්රන්ථවල හරය බලන්නාහු දිට්ඨධම්මික බව දැක පැවිද්ද රුචි කළහ. ඔවුන් අතුරින් දෙටු සොහොයුරා තමාගේ පිරිවර සමග උරුවේලාවට ගොස් සෘෂි පැවිද්දෙන් පැවිදි ව උරුවෙල කස්සප නම් විය. මද්දුමයා ගංගානදිය සමීපයෙහි පැවිදි වූයේ නදී කස්සප නම් විය. බාලයා ගයා ශීර්ෂයෙහි පැවිදි වූයේ ගයා කස්සප නම් විය. ඔවුන් සෘෂි පැවිද්දෙන් පැවිදි ව තැනින්තැන වසන කල්හි බොහෝ දවස් ඇවෑමෙන් අපගේ බෝසතුන් වහන්සේ මහබිනික්මන් කොට අවබෝධ කරගත් සර්වඥතාඥාන ඇති සේක් අනුක්රමයෙන් දම්සක් පවත්වා පස්වග තෙරුන් රහත් බවෙහි පිහිටුවා යසකුල පුත්රයා ප්රමුඛ යහළුවන් පනස්පස්දෙන හික්මවා රහතන් සැටදෙන ‘මහණෙනි, චාරිකා කරවු’ යයි යවා භද්රවාර්ගිකයන් තිස්දෙන හික්මවා උරුවෙල කාශ්යපයන් වසන ස්ථානයට වැඩමවා වසනු පිණිස ගිනිහල්ගෙයට පිවිස එහි කරන ලද නාගදමන ආදී වූ දහසින් අඩින් අඩක් ප්රාතිහාර්යයන්ගෙන් උරුවෙල කස්සප සහපිරිවරින් හික්මවා පැවිදි කරවූ සේක. ඔහුගේ පැවිදි විධානය ද සෘද්ධි ප්රාතිහාර්ය කිරීම ද සියල්ල නදී කස්සප අපදාන අටුවාවෙහි පහළ වන්නේය. ඔහු පැවිදි වූ බව අසා අනිත් සහෝදරයෝ දෙදෙනද පිරිවර සහිතව පැමිණ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි පැවිදි වූහ. ඒ සියලුදෙන සෘද්ධිමය පාසිවුරු දරන්නාහු ඒහිභික්ෂු වූහ. ශාස්තෲන් වහන්සේ ඒ මහණුන් දහස රැගෙන ගයා ශීර්ෂයට වැඩමවා ගලක් මත වැඩහුන් සේක් ආදිත්ත පරියාය දේශනාවෙන් ඒ සියලුදෙන රහත්බවෙහි පිහිටවූ සේක.
හේ මෙසේ රහත් බවට පත්ව සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීය. මෙහිදී ගැඹුරුපද පමණක් වර්ණනා කරන්නෙමු.
සොව සබ්බතමං හනත්වා යනු ඒ භාග්යවතුන් වහන්සේ රාග දෝස මෝහ ආදී ක්ලේශාන්ධකාරය විද්ධං සෙත්වා දුරුකොට. මහාජටං යනු තෘෂ්ණා මාන ආදී වූ එක්දහස් පන්සියයක් ක්ලේශාංගයන්ගෙන් මහා ව්යාකූල වූ අවුලලිහා පදාලෙත්වා පළා යන අර්ථයි. සදෙවකං දිව්යලෝක සහිත වූ සකලලෝක සන්නිවාසය සමාන යම් තං තප්පයන්තො සන්තර්පණය කරන්නේ පිනවන්නේ අමතං වුට්ඨිං මහා නිර්වාණ වැසිදහරාව. වස්සතෙ වගුරුවතියි යෙදුමයි.
එකල්හි බාරාණසියං බාරසමනුස්සා දොළොසක් මනුෂ්යයෝ ආදියෙහි මෙන් බාරස ද්වාරස වශයෙන් රාසී වී පෙර හිමවතෙහි සිට ඉසයොච ප්රත්යෙක බුද්ධමුනි සංඛ්යාත වූ සෘෂිවරු ගන්ධමාදන පර්වතයෙන්ද අහසින්ද අවුත් මෙහි ආගච්ඡන්ති බසිත් පිවිසෙත්නුයි බාරාණසී. නැතහොත් සම්යක් සම්බුද්ධ සංඛ්යාත වූ නොයෙක් සියදහස් ගණන් ධර්මචක්රය පැවැත්වීම පිණිස බසින ස්ථානය නගරය ලිංග විපර්යාස කොට ස්ත්රීලිංග වශයෙන් බාරාණසී යයි කියනු ලැබේ. ඒ බාරාණසියෙහි.
නික්ඛිත්ත සත්ථ පච්චන්තං යනු අත්හැර දමන ලද ආයුධ ඇති තැබූ ආයුධ ඇති ප්රත්යන්ත ජනපදය වෙනසක් නොකොට පුනරුපෙච්චතං යනු නැවතත් ඒ නගරයට උපෙච්ච පැමිණ සම්ප්රාප්තව යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
උරුවෙල කස්සප තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
539. රාධ ථේර අපදාන වර්ණනාව
නවවැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් රාධ තෙරුන් වහන්සේගේ අපදානයයි. ඒ සියල්ල පෙළ අනුසරින් ක්රමය අනුව සිතීමෙන් නුවණැත්තන් විසින් පහසුවෙන් දත හැක්කේමය. හුදෙක් පින්වල වෙනස පමණි.
රාධ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
දසවැනි මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදානය පහසුවෙන් දතහැක්කේමය.
පනස් සතරවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
55. භද්දිය වර්ගය
541. ලකුණ්ටකභද්දිය ථේර අපදාන වර්ණනාව
පනස් පස්වැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි මහාභෝග ඇති කුලයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසමින් සිටින්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක මධුරස්වර ඇත්තවුන් අතර අගතන්හි තබනු දැක මොහුද ඒ තනතුර ප්රාර්ථනා කරන්නේ බුදුපාමොක් භික්ෂු සංඝයාට ගිතෙල් සකුරු ආදී මිහිරි රසයෙන් සම්මිශ්ර වූ මහදන් දී ‘ස්වාමීනි, මම ද අනාගතයෙහි මේ භික්ෂුව මෙන් එක් බුදුවරයකුගේ සසුනෙහි මධුරස්වර ඇත්තවුන් අතර අග්ර වන්නෙමියි ප්රාර්ථනාවක් කළේය. භාග්යවතුන් වහන්සේ එයට අන්තරායක් නැති බව දැක ප්රකාශකොට වැඩි සේක.