54. කච්චායන වර්ගය
531. මහාකච්චාන ථේර අපදාන වර්ණනාව
පනස් සතරවැනි වර්ගයෙහි පළමුවැනි අපදානයෙහි පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති මහා කුලයක ඉපිද වැඩිවිය පත්වූයේ එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් දෙසන ලද දෙය විස්තර වශයෙන් අර්ථ විභජනය කරන්නවුන් අතර අගතන්හි තබනු ලබන එක් භික්ෂුවක දැක තමාද ඒ ස්ථානය ප්රාර්ථනා කරන්නේ ප්රාර්ථනාවක් කොට දානාදී පින්කම් කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි විද්යාධරයෙක්ව අහසින් යන්නේ එක් වන ලැහැබක වැඩහුන් භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ කිණිහිරිමලින් පූජා කළේය.
හේ ඒ පින්කමින් වරින්වර සුගතීන්හිම පරිවර්තනය වන්නේ කාශ්යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බරණැස කුලගෙයක ඉපිද භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි ස්වර්ණ චෛත්යයක් කරන ස්ථානයෙහි සියදහසක් අගනා රන් ගඩොළු ගොඩක් කොට මේ පිනින් උපනුපන් තැන මාගේ ශරීරය රන්වන් වේවායි ප්රාර්ථනාවක් කළේය. ඉන්පසු දිවි ඇති තාක් කුසලකර්ම කොට එක් බුද්ධාන්තරයක් දෙවිමිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි උදේනී නුවර චණ්ඩපජ්ජොත රජුගේ පුරෝහිතයාගේ ගෙහි උපන්නේ ය. ඔහුට නම් තබන දවසෙහි මාගේ පුත්රයා රන්වන් වූයේ නම ගෙනම ආයේ වනැයි කඤ්චන මාණව යනුවෙන්ම නමක් තැබීය. හේ වැඩිවිය පත්ව තුන්වේදය උගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. හේ ගෝත්ර වශයෙන් කච්චාන යයි දන්නා ලද්දේය. චණ්ඩපජ්ජොත රජ බුදුන් උපන් බව අසා ‘ආචාර්යය, ඔබ එහි ගොස් ශාස්තෲන් වහන්සේ මෙහි වඩමවාගෙන එවයි ඔහු යැවීය. හේ තමා සත්වැනිකොට ශාස්තෲන් වහන්සේ සමීපයට ගියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දහම් දෙසූ සේක. දේශනාවගේ කෙළවර මිනිසුන් සත්දෙන සමග පිළිසිඹියා සහිත රහත් බවෙහි පිහිටියේය.
උන්වහන්සේ මෙසේ පැමිණි අර්හත් ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘පදුමුත්තරො නාම ජිනො’ යනාදිය කීහ. එය යට කියන ලද අර්ථ ඇත්තේ ම ය. මෙසේ තෙරුන්වහන්සේ උතුම් අර්ථයක් නිපදවාගෙන ස්වාමීනි, පජ්ජොත රජතුමා ඔබවහන්සේගේ පාවැඳීමටත් ධර්මය ඇසීමටත් කැමැත්තේයයි දැන්වූහ. ශාස්තෲන් වහන්සේ කච්චාන ඔබම එහි යන්න. ඔබ ගියකල්හි රජ පැහැදෙන්නේ යයි කී සේක. තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අණින් තමා සත්වැනි කොට එහි ගොස් රජු පහසවා අවන්ති ජනපදයෙහි සසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේගේ සමීපයට ම පැමිණි සේක. තමාගේ පූර්වකර්ම වශයෙන් කච්චායන ප්රකරණය, මහා නිරුත්තිප්රකරණය, නෙත්තිප්රකරණය යන ප්රකරණ තුන සඟමැද ප්රකාශ කළ සේක. ඉක්බිති සතුටට පත් භාග්යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, මගේ ශ්රාවකයන් අතර සංක්ෂේපයෙන් කියූ දෙය විස්තර වශයෙන් විභජනය කරන යම් කෙනෙක් වේද ඒ කච්චායන යයි අග්රස්ථානයෙහි තබන ලද්දාහු අග්රඵල සුඛයෙන් වාසය කළ සේක.
මහාකච්චායන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
532. වක්කලි ථේර අපදාන වර්ණනාව
දෙවැනි අපදානයෙහි ඉතොසතසහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් වක්කලී තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගිය උපාසකවරුන් සමග විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ශ්රද්ධාවන්තයින් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර ප්රාර්ථනා කරන්නේ සත්දිනක් බුදුපාමොක් භික්ෂු සංඝයාට මහදන් දී ප්රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට අන්තරායක් නැති බව දැක විවරණ දුන් සේක.
හේ දිවි ඇතිතෙක් කුසල් රැස්කොට එය සමෘද්ධ වනසේ කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. ඔහුට වක්කලී යයි නමක් තැබූහ. එය කලි යනු අපරාධ තලකැලැල් ආදී දෝෂයට සමාන වචනයකි. නොසේදූ ස්වර්ණ පිණ්ඩයක් බඳු බැවින් පහව ගිය කලි දොස් මොහුට ඇත්තේනුයි වකාර ආගමයක් කොට වක්කලී යයි කියනු ලැබේ. හේ වැඩිවිය පත්වූයේ තුන්වේදය ඉගෙන බ්රාහ්මණ ශිල්පයන්හි නිෂ්පත්තියට ගියේ ශාස්තෲන් වහන්සේ සමගම හැසිරෙයි. ගිහිගෙයි වසන්නේ නිරන්තරයෙන් ශාස්තෲන් වහන්සේගේ දර්ශන නොලබන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව අහර වළඳන කාලය හා ශරීරකෘත්යය කරන කාලය හැර සෙසුකල්හි යම්තැනෙක සිට දසබලධාරීන් වහන්සේ දක්නට හැක්කේද එහි සිටියේ අනිකුත් කාර්ය හැරදමා භාග්යවතුන් වහන්සේ දෙසම බලමින් වාසය කරයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ ඥාන පරිපාකයට පැමිණෙමින් බොහෝ කලක් ඔහු රූප දර්ශනයෙන් හැසිරෙන කල්හි කිසිවක් නොකියා නැවත එක් දවසක් වක්කලී, මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ප්රයෝජනය කුමක්ද. වක්කලී, යමෙක් ධර්මය දකීද හේ මා දකී. වක්කලි ධර්මය දකින්නේ මා දකී’ යයි කී සේක. ශාස්තෲන් වහන්සේ මෙසේ කියද්දීත් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ දර්ශනය අත්හැර අන්තැනක යාමට නොහැක්කාහු වෙති. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ‘මේ භික්ෂුව සංවේගය නොලැබ අවබෝධ කර නොගන්නේ යයි වස් එළඹෙන දිනයෙහි ‘වක්කලී ඉවත්වන්නැ’යි අත දික්කළ සේක. හේ ශාස්තෲන් වහන්සේ විසින් මම එළවාදමන ලද්දේ වෙමියි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටීමට නොහැක්කේ ‘ශාස්තෲන් වහන්සේ දැකීමට නොලබමි නම් මාගේ ජීවිතයෙන් ඇති ප්රයෝජනය කුමක්දැයි ගිජුකුළු පවුවෙහි ප්රපාතස්ථානයකට නැගුණේය. ශාස්තෲන් වහන්සේ එපුවත දැන මේ භික්ෂුව මා සමීපයෙන් ආස්වාදයක් නොලබන්නේ මාර්ගඵලයන්ට ඇති උපනිශ්රය නසා ගත්තේය’යි තමන් වහන්සේ දක්වා ආලෝකයක් යවන සේක්,