536. බාහිය ථේර අපදාන වර්ණනාව
සවැනි අපදානයෙහි ඉතො සත සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් බාහිය දාරුචීරිය තෙරුන්වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයක ඉපිද බ්‍රාහ්මණ ශිල්පයන්හි නිෂ්පත්තියට ගොස් වේදාංගයන්හි පූර්ණත්වයට පත්වූයේ එක්දවසක් ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක වහා අවබෝධ වන්නවුන් අතර අගතන්හි තබනු දැක ඒ තනතුර ප්‍රාර්ථනා කරනු කැමැත්තේ සත්දිනක් බුදුපාමොක් සංඝයාට මහදන් දී සත්දින ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැදහොත්තේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මින් සත්වැනි දවසෙහි යම් භික්‍ෂුවක වහා අවබෝධ වන්නවුන් අතර අගතන්හි තැබූ සේක්ද, ඒ භික්‍ෂුව මෙන් මම ද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි වහා අවබෝද වන්නවුන් අතර අග්‍ර වන්නෙමියි ප්‍රාර්ථනාවක් කළේය. භාග්‍යවතුන් වහන්සේ අනාගතංස ඥානයෙන් බලා අනාගතයෙහි ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි වහා අවබෝධ වන්නවුන් අතර අග්‍ර වන්නේ යයි ප්‍රකාශ කළ සේක. හේ දිවි ඇති තාක් පින්කොට එයින් චුතවූයේ දෙව්ලොව ඉපිද එහි ස කාමාවචර සම්පත් අනුභවකොට නැවත මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් නොයෙක් කල්පකෝටි සියගණන් අනුභවකොට කස්සප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පැවිදි වූයේ වෙයි. එකල්හි සසුන පිරිහී යද්දී භික්‍ෂූන් සත්නමක් සිව්පිරිසෙහි වැරදි හැසිරීම දැක සංවේගයට පත්වූවෝ ආරණ්‍යයට පිවිස යම්තාක් ශාසන අන්තර්ධානය නොවීද ඒ තාක් තමාට ප්‍රතිෂ්ඨාවක් කරන්නෙමුයි ස්වර්ණ චෛත්‍යය වැඳ මෙහි අරණ්‍යයෙහි එක් පර්වතයක් දැක ‘ජීවිතයෙහි ආලය ඇත්තෝ නවතිත්වා, ආලය නැත්තෝ මේ පර්වතයට නගිත්වායි ඉණිමගක් බැඳ සියල්ලෝ ඒ පර්වතයට නැග ඉණිමග හෙළා මහණදම් කළහ. ඔවුන් අතරින් සංඝ ස්ථවිරයන් වහන්සේ එක් රැයක් ඉක්ම යාමේදී රහත් බවට පත්වූහ. උන්වහන්සේ අනෝතත්ත විලෙහි නාගලතා දැහැටිදඬුවක් හපා මුව දොවා උතුරුකුරු දිවයිනෙන් පිණ්ඩපාතය ගෙනවුත් ඒ භික්‍ෂුන්ට මෙසේ කීහ. ‘ඇවැත්නි, මේ පිණ්ඩපාතය වළඳන්න. උන්වහන්සේලා මෙසේ කීහ. ‘ස්වාමීනි, අප විසින් මෙබඳු කතිකාවක් කරන ලදි. යමෙක් පළමුව රහත්බවට පත්වේද ඔහු විසින් ගෙනෙන ලද පිණ්ඩපාතය සෙස්සෝ වළඳත්වායි. ‘ඇවැත්නි, එසේ නොවේ.’ එසේනම් යම්හෙයකින් අපිද ඔබවහන්සේ මෙන් විශේෂයක් නිපදවා ගන්නෙමු නම්, අපි ගෙනවුත් වළඳන්නෙමුයි නොකැමති වූහ.
දෙවැනි දවසෙහි දෙවැනි තෙරුන් වහන්සේ අනාගාමීව ඒ අයුරින්ම පිණ්ඩපාතය ගෙනවුත් අන් අයට ආරාධනා කළහ. ඔවුහු මෙසේ ඇසූහ. ඇවැත්නි, මහතෙරුන් වහන්සේ විසින් ගෙනඑන ලද පිණ්ඩපාතය නොවළඳා දෙවැනි තෙරුන් වහන්සේ විසින් ගෙන එන ලද පිණ්ඩපාතය වළඳන්නෙමුයි කතිකාවක් කරනු ලැබීද. නැත ඇවැත්නි, මෙසේ ඇතිකල්හි ඔබ මෙන් අපිද විශේෂයක් නිපදවා මේ මානුෂික ප්‍රයත්නයෙන් වළඳන්ට හැක්කාහු වළඳන්නමුයි නො කැමති වූහ. ඔවුන්ගෙන් රහත් බවට පත් තෙරුන් වහන්සේ පිරිනිවි සේක. දෙවැන්නා අනාගාමීව බඹලොව උපන්නේය. ඉතිරි පස්දෙන විශේෂයක් උපදවා ගැනීමට නොහැක්කාහු සුසුම් හෙළා සත්වැනි දවසෙහි කලුරිය කොට දෙව්ලොව උපන්හ. එහි දිවසුව අනුභව කළහ. මේ බුද්ධෝත්පාද කාලයෙහි එයින් චුතව මිනිසුන් අතර උපන්හ. ඔවුන්ගෙන් එකෙක් පුක්කුසාති රජ විය. එකෙක් ගන්ධාර රට තක්සලා නුවර කුමාර කස්සපය. එකෙක් බාහිය දාරුචීරියය. එකෙක් දබ්බමල්ල පුත්තය. එකෙක් සභිය පරිබ්‍රාජකයාය. ඔවුන් අතරින් මේ බාහිය දාරුචීරිය තෙමේ සුප්පාර පටුනෙහි වෙළඳ කුලයෙහි ඉපිද වාණිජ කර්මයෙහි නිෂ්පත්තියට ගියේ මහාධන ඇත්තේ මහාභෝග ඇත්තේ ස්වර්ණභූමියට යන්නා වූ වෙළඳුන් සමග නැව්නැගී විදේශයට යන්නේ කිහිපදිනක් ගොස් නැව බිඳුණුවිට සෙස්සන් මස් කැසුබුවන්ට අහර වූ කල්හි තනිවම ඉතිරි වූයේ එක් ලෑල්ලක් ගෙන වෑයම් කරන්නේ සත්වැනි දවසෙහි සුප්පාර පටුනට බැසගත්තේය. ඔහුට ඇඳුම් පොරෝනා නැත. හේ අන්කිසිවක් නොදක්නේ වියලි දරදඬුවක පොතුවලින් බැඳ හැඳ පොරවා දේවාලයෙන් කබලක් ගෙන සුප්පාර පටුනට ගියේය. මිනිස්සු ඔහු දැක කැඳ බත් ආදිය දී මේ එක් රහත් කෙනෙක් යයි සම්භාවනා කළහ. හේ වස්ත්‍ර ළඟට ගෙනෙනු ලැබූ කල්හි යම්හෙයකින් හඳිමි නම් පොරවමිනම් මාගේ ලාභසත්කාර පිරිහෙන්නේය. ඒවා පිළිකෙව් කොට දරරෙදිම ඇන්දේය.
ඉක්බිති බොහෝ දෙනකු විසින් රහත් කෙනෙකැයි සම්භාවනා කරනු ලබන කල ඔහුට මෙවන් විතර්කයක් සිතෙහි උපන්නේය. ලොවෙහි අර්හත් වූවෝ හෝ අර්හත් මාර්ගයට පැමිණියාහු හෝ වෙත්නම් මම ඔවුන්ගෙන් එක් කෙනෙක්මි යනුවෙන්. හේ මේ ක්‍රමයෙන් කුහකකමින් ජීවිකාව කරයි.
කස්සප බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි සත්දෙනකු පර්වතයට නැග මහණකම් කරද්දී, එක්කෙනෙක් අනාගාමී වී සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. හේ තමාගේ බ්‍රහ්ම සම්පත්තිය බලන්නේ පැමිණි තැන ආවර්ජනා කරන්නේ පර්වතයට නැග මහණදම් පුරන තැන දැක සෙස්සන් උපන් තැන ආවර්ජනය කරන්නේ එක් අයකු පිරිනිවන් පෑ බවද ඉතිරි පස්දෙන කාමාවචර ලෝක පසෙහි උපන් බවද දැන ඔවුන් කාලනුකාලයෙන් ආවර්ජනය කළේය. මේ කාලයෙහි ඔවුහු කොතැනක සිටිත්දැයි ආවර්ජනා කරන්නේ දාරුචීරිය සුප්පාර පටුන නිසා කුහකකමින් ජීවත්වනු දැක, මේ මෝඩයා නැසුණේ වෙයි. පෙර මහණදම් පුරන්නේ අති උත්කෘෂ්ට බව හේතුකොටගෙන රහතන් වහන්සේ විසින් ගෙන එන ලද දෙය නොවළඳා දැන් බඩ සඳහා නොරහත්ව රහත්බව හඟවා ලෝකය වංචා කරමින් හැසිරෙයි. බුදුරජාණන් වහන්සේ උපන් බවක් නොදනී. දැන් යමි. ඔහු සංවේගයට පමුණුවා බුදුන් උපන් බව දැන ගන්වන්නෙමියි ක්‍ෂණයෙන්ම බඹලොවින් බැස සුප්පාර පටුනෙහි රාත්‍රීභාගය අතරතුරෙහි දාරුචීරියගේ ඉදිරියෙහි පහළවිය. හේ තමාගේ වසන තැන එළියක් දැක පිටතට නික්ම මහාබ්‍රහ්මයා දැක ඇඳිලිබැඳ ඔබ කවුරුදැයි ඇසීය. මම ඔබගේ පැරණි මිත්‍රයාය. අනාගාමී ඵලයට පැමිණ බඹලොව උපන්නෙමි. අප සියල්ලන්ට ජ්‍යෙෂ්ඨයා රහත්ව පිරිනිවියේය. ඔබ පස්දෙන දෙව්ලොව උපන්නාහුය. ඒ මම දැන් ඔබ කුහකකමින් දිවි ගෙවනු දැක දමනය කිරීමට පැමිණියෙමියි කියා මේ කරුණ කීවේය. බාහිය, ඔබ රහත් කෙනෙක් නොවෙහි ය. අර්හත් මාර්ගයට පත්වී වත් නැත. යම් කිසිවකින් ඔබ රහත් කෙනෙක් වන්නෙහිද රහත්මගට හෝ පැමිණියහුද ඔබට ඒ ප්‍රතිපදාව වත් නැත. ඉක්බිතිව ඔහුට ශාස්තෲන් වහන්සේ උපන් බවත් සැවැත්නුවර වසන බවත් කියා ශාස්තෲන් වහන්සේ වෙත යව’යි ඔහු උනන්දු කරන්නේ අහසෙහි සිටියේය.