535. කුමාරකස්සප ථේර අපදාන වර්ණනාව
පස්වැනි අපදානයෙහි ඉතො සහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් කුමාර කස්සප තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද වනාහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද දැනමිති බවට පත්ව එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක චිත්රකථිකයන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර ප්රාර්ථනා කරන්නේ ප්රාර්ථනාවක් කොට ඊට අනුරූප වූ පින් කරන්නේ දිවි ඇතිතාක් සිට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභවකොට කස්සප භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද ඒ භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි පැවිදි ව මහණදම් කොට එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ දිව්යසැපත් හා මිනිස් සැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහනුවර එක්තරා සිටුදුවකගේ කුසෙහි උපන්නීය. ඈ වනාහි කුඩාකලම පැවිදිවනු කැමැත්තී මව්පියන්ගෙන් ඉල්ලා පැවිද්ද නොලබන්නී පතිකුලයට ගොස් ගැබ්ගෙන ඒ බව නොදැන සැමියාට දන්වා පැවිද්දට අනුමැතිය ලබාගන්නෙමියි සිතුවාය. සැමියාට ආරාධනා කරන්නී, ආර්යපුත්රය –
‘සචෙ ඉමස්ස කායස්ස අන්තො බාහිරතො සියා,
දණ්ඩං නූන ගහෙත්වාන කාතෙ සොණෙ නිවාරයෙ’ති.
දණ්ඩං නූන ගහෙත්වාන කාතෙ සොණෙ නිවාරයෙ’ති.
ඉදින් මේ සිරුරෙහි - බඩවැල් පිටත ඇත්නම්
දඬුකඩකින් කවුඩුවන් - බල්ලන් එළවිය යුතුය
දඬුකඩකින් කවුඩුවන් - බල්ලන් එළවිය යුතුය
ආදි වශයෙන් ශරීරයෙහි දොස් දක්වන්නී ඔහුට ආරාධනය කළාය.
ඈ සැමියා විසින් අනුදන්නා ලද්දී ගැබිනි බව නොදන්නී දේවදත්ත පාක්ෂික භික්ෂුණීන් වෙත පැවිදි වූවාය. ඇයගේ ගැබිනි බව දැක භික්ෂුණීහු දේවදත්තගෙන් ඇසූහ. ඔහු මෙහෙණක් නොවේයයි කීහ. ‘ඈ මම දේවදත්ත උදෙසා පැවිදි නොවූයෙමි. භාග්යවතුන් වහන්සේ උදසො පැවිදි වූවා වෙමියි භාග්යවතුන් වහන්සේ සමීපයට ගොස් උන්වහන්සේගෙන් විමසුවාය. ශාස්තෲන් වහන්සේ උපාලි තෙරුන් වහන්සේට පැවරූ සේක. තෙරුන්වහන්සේ සැවැත්නුවර වාසීන්ගේ පවුල් ද විසාකා උපාසිකාව ද කැඳවා රජු සහිත පිරිසෙහි එය විනිශ්චය කරන්නාහු පෙර ලද ගැබය. පැවිද්ද නිවරද යයි කීහ. ඒ අසා ශාස්තෲන් වහන්සේ උපාලි විසින් අධිකරණය මැනවින් විනිශ්චය කරන ලද්දේයයි තෙරුන් වහන්සේට සාදුකාර දුන් සේක.
ඒ භික්ෂුණිය රන් පිළිමයක් බඳු පුතකු වැදුවාය. පසේනදී කොසොල් රජතුමා දරුවන් හදාගැනීම භික්ෂුණීන්ට පලිබෝධයක් යයි ඒ දරුවා කිරිමවුන්ට දෙවා ඔහුට කස්සප යයි නමක් තැබීය. ඔහු අලංකාර ලෙස පෝෂණය කරවීය. පසුකලෙක ශාස්තෲන් වහන්සේ සමීපයට ගෙන්වා පැවිදි කරවීය. කුමාර කල්හි පැවිදි වූ බැවින් භාග්යවතුන් වහන්සේ කස්සප කැඳවන්න. මේ ගෙඩිය හෝ කෑයුත්තක් හෝ කස්සපට දෙවැයි කී කල්හි කවර කස්සපද කුමාර කස්සප. මෙසේ ගන්නා ලද නම් ඇති බැවින් රජු විසින් පෝෂණීය වූ පුත්රයා හෙයින්ද වෘද්ධ කල්හිද කුමාර කස්සපයැයි ප්රසිද්ධ විය.
හේ පැවිදි වූ කල්හි පටන් විදර්ශනා කර්මය කරයි. බුද්ධවචනයද ඉගෙන ගනී. ඉක්බිති ඔහු සමග පර්වත මස්තකයෙහි මහණදම් පුරා අනාගාමී වී සුද්ධාවාසයෙහි උපන් මහා බ්රහ්මයා විදර්ශනාවට මග දක්වා මාර්ගඵල උපදවන්ට උපායක් කරන්නෙමියි ප්රශ්න පසළොසක් රැස්කොට අන්ධ වනයෙහි වාසය කරන තෙරුන් වහන්සේට මේ ප්රශ්න ශාස්තෲන් වහන්සේගෙන් විමසන්නැයි කීය. ඉක්බිති උන්වහන්සේ ඒ ප්රශ්න භාග්යවතුන් වහන්සේගෙන් විමසූහ. භාග්යවතුන් වහන්සේද උන්වහන්සේගේ ප්රශ්න විසඳූ සේක. තෙරුන් වහන්සේ භාග්යවතුන් වහන්සේ කියූ ආකාරයෙන්ම ඒවා ඉගෙනගෙන විදර්ශනාව ගර්හ ගන්වා රහත් බවට පත්වූහ.
උන්වහන්සේ රහත් බවට පත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ඉතො සත සහස්සම්හි යනාදිය කීහ. එහි යමක් ඇත්නම් ඒ යට කියන ලද පරිදිය. නොගැඹුරු අරුත් ඇත්තේ ම ය. ඒ සියල්ල වර්ණනා නො කරන්නෙමි. ගැඹුරුපද පමණක් වර්ණනා කරන්නෙමි.
ආපන්න ගබ්භා මෙ මාතා යනු මාගේ මව ගරුගබ්භා ගර්භණීව ප්රසූතියට ආසන්න ගර්භ ඇත්තී යන අර්ථයි.
වම්මික සදිසං කායං යනු ශරීරය නම් තුඹසක් වැන්න. යම්සේ තුඹස තැනින් තැන සිදුරු ඇත්තේ නැත්තේ ගැරඬි වේ ආදීන්ට නිවාසය වේද එසේම මේ ශරීරය නවදොරක් ඇත්තේ නිතර වැගිරේය යනු බුදුවූ භාග්යවතුන් වහන්සේ විසින් දෙසිතං ප්රකාශ කරන ලදි. ඒ අසා මාගේ සිත ආශ්රවයන් නොගෙන ඉතිරි නොකොට කෙලෙස්වලින් මිදුණේය. රහත්බවෙහි පිහිටියේය යන අර්ථයි. පසුකලෙක තැන තැන භික්ෂූන්ගේ විචිත්ර ධර්මකථික බව අසා ශාස්තෲන් වහන්සේ ‘මහණෙනි, මාගේ ශ්රාවක භික්ෂූණ්ගෙන් චිත්ර කථිකයන් අතර අග්රවූයේ යමෙක්ද ඒ කුමාර කස්සප’යයි අගතන්හි තැබූ සේක.