534. දබ්බ ථේර අපදාන වර්ණනාව
සිව්වැනි අපදානයෙහි පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් දබ්බමල්ලපුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි සිටුපුත්‍රයෙක් ව ඉපිද විභව සම්පත් ඇත්තේ විය. ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්ෂුවක සේනාසන පනවන්නවුන් අතර අගතන්හි තබනු දැක පහන් සිතැත්තේ බුදුපාමොක් භික්ෂු සංඝයාට ආරාධනා කොට සත්දිනක් මහදන් දී සත්දින ඇවෑමෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාමුල වැටී ඒ තනතුර පැතීය. භාග්‍යවතුන් වහන්සේ ද සමෘද්ධවන බව දැන විවරණ දුන් සේක. හේ දිවි ඇතිතාක් කුසල්කොට ඉන්පසු තුසිත ආදී දෙවියන් අතර දිව්‍යසම්පත් අනුභවකොට විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක ඉපිද අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් උන්වහන්සේ සව්වකු රහත්යයි දැනගෙන අභූත චෝදනා නැගීය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට කිරිබත් සලාකයද දුන්හ. හේ දිවි ඇති තෙක් පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද අවසාන කාලයෙහි සසුනෙහි පැවිදිවූයේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි සියලු ලෝකයෙහි කෝලාහල ඇතිවූ කල්හි භික්ෂූන් සත්නමක් ප්‍රත්‍යන්ත ජනපදයෙහි වනමැද එක් පර්වතයකට නැගී ‘ජීවිත ආශාව බැස යෙත්වායි ආලයෙන් තොරව හිඳිත්වායි ඉණිමග හෙළූහ. ඔවුන්ගේ අවවාද දායක ජ්‍යෙෂ්ඨ තෙරුන් වහන්සේ සත්දිනක් ඇතුළත රහත් වූහ. ඉන්පසු එන තෙරුන් වහන්සේ අනාගාමී වූහ. මේ පිරිසිදු සිල් ඇති පඬිනම එයින් චුතව දෙව්ලොව උපන්නාහු ඉන් අනතුරුව දිවසැපත් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි පුක්කුසාති, සහිය, බාහිය, කුමාරකාශ්‍යප යන මේ සතරදෙන එහි උපන්නාහුය. මොහු වනාහි මල්ල රටෙහි රජගෙයි උපන්නේය. ඔහු මව්කුසින් නික්මුණු කල්හිම මව කලුරිය කළාය. ඉක්බිති එකෙක් ඇයගේ සිරුර දවනු පිණිස චිතකයෙහි නංවා දැව අතරෙහි වැටුණු දරුවා ගෙන පෝෂණය කරවීය. දර ගොඩෙහි වැටුණු බැවින් දබ්බ මල්ලපුත්ත යැයි ප්‍රකට විය. පසුකලක පූර්ව පින් රැස්කිරීම් වශයෙන් පැවිදි විය. හේ කර්මස්ථානයෙහි යෙදුණේ නොබෝ කලකින්ම පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය.
ඉක්බිති ශාස්තෲන් වහන්සේ මධ්‍යස්ථ බැවින් යුතුව අනුහස් ඇති බැවින් යුතුව භික්ෂූන්ට සෙනසුන් පැනවීමෙහි හා බත් උදෙසීමෙහිද යෙදවූ සේක. සියලු මෙත්තිය භුම්මජක භික්ෂූහු උන්වහන්සේ වෙත පැමිණියාහුය. එය විනය බන්ධකයෙහි පැමිණියේමය. පසුකලෙක තෙරුන් වහන්සේ එක් උතුම් සලාක දායකයකුගේ සලාක බත් මෙත්තිය භුම්මජකා නම් භික්ෂුණිය ඇයි ස්වාමීනි, දොම්නස්වැයි ඔවුන්ගෙන් ඇසුවාය. ඔවුහු නැගණිය, දබ්බමල්ල පුත්‍රයා අප වෙහෙසවා පාලනය කරන්නේ ඇයිදැයි ඇසූහ. ‘ස්වාමීනි, මා විසින් කළහැක්කේ කුමක්ද? උන්වහන්සේට දොස් නගන්නැයි කීවේය. ඇය තැනින් තැන තෙරුන් වහන්සේට අභූත චෝදනා කළාය. ඒ අසා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දබ්බමල්ල පුත්ත කැඳවා ‘ඔබ මෙත්තියා භික්ෂුණියට වෙනසක් කළේ ඇත්තදැ’යි ඇසූ සේක. ‘භාග්‍යවතුන් වහන්සේ මා දන්නා සේකැ’යි කීය. දබ්බ මෙසේ ප්‍රතික්ෂේප නොකරව. කරන ලද බව හෝ නොකරන ලද බව හෝ කියව. ස්වාමීනි, මම එසේ නොකෙළෙමි. භාග්‍යවතුන් වහන්සේ මෙත්තියා භික්ෂුණීයට වරදට සමාව දී ඒ භික්ෂූන්ට අවවාද කරවුයයි කියූ සේක. උපාලි තෙරුන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ ඒ භික්ෂුණිය උපැවිදි කොට මෙත්තිය භුම්මජක භික්ෂූන්ට වරද පෙන්වා දී ඔවුන් අප විසින් ඒ භික්ෂුණිය යොදවන ලද්දීයයි කී කල්හි භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ දැන්වූහ. භාග්‍යවතුන් වනහන්සේ මෙත්තිය භුම්මජක භික්ෂූන්ට අමුලක සංඝාදීසේසය පැනවූ සේක.
එසමයෙහි මල්ල තෙරුන් වහන්සේ භික්ෂූන්ට සෙනසුන් පනවන්නාහු වේළුවන විහාරය හාත්පස දසඅටක් මහා විහාරයන්ට සභාග භික්ෂූන් යවන්නාහු රාත්‍රී කාලයෙහි අන්ධකාරයෙහි ඇඟිල්ලෙන් පහන දල්වා ඒ ආලෝකයෙන්ම යැවූහ. මෙසේ තෙරුන් වහන්සේගේ සෙනසුන් පනවන තවත් උදෙසන කාර්යය ප්‍රකට වූ කල්හි ශාස්තෲන් වහන්සේ ආර්යගණයා මැද සියලු තෙරුන් වහන්සේලා තනතුරුවල තබන සේක්, මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් සේනාසන පනවන්නවුන් අතර යමෙක් අගතැන්පත් වේද ඒ දබ්බමල්ලපුත්ත යයි තෙරුන් වහන්සේ අගතන්හි තැබූ සේක.