533. මහාකප්පින ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ශාස්තෲන් වහන්සේගේ ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් එක් භික්‍ෂුවක භික්‍ෂූන්ට අවවාද දෙන්නවුන් අතර අගතන්හි තබනු දැක ගරුබුහුමන් කොට ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.
හේ දිවි ඇතිතාක් කුසල්කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ බරණැසට නුදුරෙහි එක් පෙහෙරගමක දෙටු පෙහෙකරුගේ ගෙහි උපන්නේය. එකල්හි දහසක් පමණ පසේබුදුවරු හිමවතෙහි අටමාසයක් වැස වස් කාලයෙහි සාරමසක් ජනපදයෙහි වසති. උන්වහන්සේලා එක්වරක් බරණැස නුදුරෙහි බැස සෙනසුන් පිළියෙල කරනු පිණිස අත්කම් ඉල්වවයි රජුගේ සමීඵයට පසේ බුදුවරුන් අටනමක් යැවූහ. එකල්හි වනාහි රජුගේ වප්මඟුල වෙයි. රජ තෙමේ පසේබුදුවරු වැඩියහයි අසා නික්ම පැමිණි කරුණ විමසා ‘ස්වාමීනි, අද අවකාශයක් නැත. හෙට අපගේ වප්මගුලය. තෙවැනි දවසෙහි කරන්නෙමියි පසේ බුදුවරුනට කීය. පසේ බුදුවරු වෙනත් ගමකට පිවිසෙන්නමුයි ගියහ.
එසමයෙහි දෙටු පෙහෙකරුගේ බිරිය කිසියම් කටයුත්තක් සඳහා බරණැසට යන්නී ඒ පසේබුදුවරුන් දැක වැඳ ‘ස්වාමීනි, අවෙලාවෙහි ආර්යයන් වහන්සේලා වැඩියේ කුමක් නිසාදැයි ඇසුවාය. උන්වහන්සේලා මුලසිට කථාව කියූහ. ඒ අසා සැදැහැවත් බුද්ධිමත් ස්ත්‍රිය ‘ස්වාමීනි, හෙට අපගේ භික්‍ෂාව ගනු මැනැවැයි ආරාධනා කළාය. ‘නැගණියනි, අපි බොහෝ දෙනෙකි. කොපමණක්ද ස්වාමීනි? නැගණියනි දහසක් පමණ. ‘ස්වාමීනි, අපගේ ගමෙහි දහසක් පමණ දෙන වසති. එක් එක්කෙනා එක් එක් නමකට භික්‍ෂාව දෙන්නේය. ඉවසා වදාළ මැනව. ඔබවහන්සේලාගේ වසන ස්ථානය මම ම කරවන්නෙමි’යි කීවාය. පසේබුදුවරු ඉවසා වදාළහ.
ඈ ගමට පිවිස උද්ඝෝෂණය කළාය. අම්මේ තාත්තේ, මම දහසක් පමණ පසේබුදුවරුන් දැක ආරාධනා කෙළෙමි. ආර්යයන් වහන්සේලාට වැඩසිටිනා තැන් සංවිධාන කරවු. කැඳ බත් ආදිය සම්පාදනය කරවුයි ගම්මැද මණ්ඩපයක් කරවා ආසන පනවා දෙවැනි දවසෙහි පසේ බුදුවරුන් වඩාහිඳවා ප්‍රණීත ආහාර පානයෙන් වළඳවා බත්කිස අවසන්හි එගම සියලු ස්ත්‍රීන් ගෙන ඔවුන් සමග පසේබුදුවරුන් වැඳ තෙමසක් වසනු සඳහා ප්‍රතිඥාවක් ගෙන නැවත ගමෙහි උද්ඝෝෂණය කළාය. ‘අම්මේ තාත්තේ එක් එක් පවුලකින් එක් එක් පුරුෂයෙක් පිහියා පොරෝ ආදිය ගෙන කැලෑවට පිවිස දැව ගොඩක් ගෙනවුත් ආර්යයන් වහන්සේලාට වසනස්ථානය කරනු මැනවැයි. ගම්වැසියෝ ඇයගේ නියෝගයෙහි පිහිටා එක් එක්කෙනා එක් එක් වසනස්ථානය කොට රාත්‍රීස්ථාන දිවාස්ථාන ආදිය සමග පන්සල් දහසක් නිමවා නැවත තමාගේ පන්සලට පැමිණි පසේ බුදුරජාණන් වහන්සේට ‘මම සකසා උපස්ථාන කරන්නෙමි. මම සකසා උපස්ථාන කරන්නෙමි’යි කියා උපස්ථාන කළහ. ඈ වස් වැසිකල්හි තම තමාගේ පන්සලෙහි වස් විසූ පසේ බුදුවරුන්ට සිවුරු රෙදි පිළියෙල කරවයි එකඟ කරවාගෙන එක් එක් පසේ බුදුරජාණන් වහන්සේට දහසක් වටනා සිවුරක් දෙවුවාය. පසේබුදුවරු විසූ වස් ඇත්තාහු අනුමෝදනා කොට වැඩියාහුය. ගම්වැසියෝ ද මේ පින්කම කොට ඉන්පසුව තව්තිසා දෙව්ලොව ඉපිද ගණ දේවතා නම් වූහ.
ඔවුහු එහි දිව්‍ය සම්පත් අනුභව කොට කස්සප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කෙළෙඹි ගෙයක උපන්හ. පෙර දෙටු පෙහෙකරු දෙටු කෙළෙඹියාගේ පුත්‍රයා විය. ඔහුගේ බිරියද එක් දෙටු කෙළඹියකුගේ දුවය. සේසන්ගේ භාර්යාවරු සෙසු කෙළෙඹියන්ගේ දූවරු වූහ. ඒ සියල්ලෝම වැඩිවිය පත්වූවෝ අන් කුලයට යන්නාහු තමතමන්ගේම ගෙවල් විය. ඉක්බිති එක්දවසක් විහාරයෙහි ධර්මශ්‍රවණය දැන්වූ කල්හි ශාස්තෲන් වහන්සේ ධර්මය දේශනා කරතියි අසා ඒ සියලුම කෙළෙඹියෝ දහම් අසන්නෙමුයි භාර්යාවන් සමග විහාරයට ගියහ. ඔවුන් වෙහෙර මැදට පිවිසි කෙණෙහි වැස්සක් වැස්සේය. සෙසු ජනයෝ කුලුපග වූ ඥාති සාමණේර ආදීන්ගේ පිරිවෙන් ආදියට පිවිසියාහුය. ඔවුන්ට එබන්දවුන් නැති බැවින් කිසිතැනකට පිවිසෙන්ට නොහැක්කාහු වෙහෙර මැදම සිටියාහුය. ඉක්බිති දෙටු කෙළෙඹියා මෙසේ කීය. ‘පින්වතුනි බලවු. අපගේ වෙනස. කුලපුත්‍රයෙක් නම් මෙපමණකින් ලජ්ජා විය යුතුයි. ආර්යය, කුමක් කරමුද. විශ්වාස වූ තැනක් නැති බැවින් අපි මෙබඳු වෙනසකට පැමිණියෝ වෙමු. සියලු ධනය ගෙනවුත් පිරිවෙනක් කරන්නෙමු. ‘ආර්යය මැනවැයි දෙටු කෙළෙඹියා දහසක් දුන්නේ ය. සෙස්සෝ පන්සියය පන්සියය බැගින් දුන්හ. ස්ත්‍රීහු ඉන් අඩ බැගින් දුන්හ. ඔවුහු ධනය ගෙනවුත් දහසක් කුළුගෙවල් පිරිවරකොට ඇතිව ශාස්තෲන් වහන්සේට වැඩවසනු පිණිස මහා පිරිවෙනක් කරවූහ. නවකම් මහත් බැවින් ධනය ප්‍රමාණවත් නොවන කල්හි කලින් දුන් ධනයෙන් අඩක් බැගින් දුන්හ. පිරිවෙන නිමි කල්හි විහාර උත්සවය කරන්නාහු බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට සත්දිනක් මහදන් දී විසිදහසක් භික්‍ෂූන්ට සිවුරු පිළියෙල කළහ.