532. වක්කලි ථේර අපදාන වර්ණනාව
දෙවැනි අපදානයෙහි ඉතොසතසහස්සම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් වක්කලී තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරනම ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නගරයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ සමීපයට ගිය උපාසකවරුන් සමග විහාරයට ගොස් පිරිස් කෙළවර සිටියේ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ශ්‍රද්ධාවන්තයින් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර ප්‍රාර්ථනා කරන්නේ සත්දිනක් බුදුපාමොක් භික්‍ෂු සංඝයාට මහදන් දී ප්‍රාර්ථනාවක් කළේය. ශාස්තෲන් වහන්සේ ඔහුට අන්තරායක් නැති බව දැක විවරණ දුන් සේක.
හේ දිවි ඇතිතෙක් කුසල් රැස්කොට එය සමෘද්ධ වනසේ කොට දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙහි උපන්නේ ය. ඔහුට වක්කලී යයි නමක් තැබූහ. එය කලි යනු අපරාධ තලකැලැල් ආදී දෝෂයට සමාන වචනයකි. නොසේදූ ස්වර්ණ පිණ්ඩයක් බඳු බැවින් පහව ගිය කලි දොස් මොහුට ඇත්තේනුයි වකාර ආගමයක් කොට වක්කලී යයි කියනු ලැබේ. හේ වැඩිවිය පත්වූයේ තුන්වේදය ඉගෙන බ්‍රාහ්මණ ශිල්පයන්හි නිෂ්පත්තියට ගියේ ශාස්තෲන් වහන්සේ සමගම හැසිරෙයි. ගිහිගෙයි වසන්නේ නිරන්තරයෙන් ශාස්තෲන් වහන්සේගේ දර්ශන නොලබන්නෙමියි ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව අහර වළඳන කාලය හා ශරීරකෘත්‍යය කරන කාලය හැර සෙසුකල්හි යම්තැනෙක සිට දසබලධාරීන් වහන්සේ දක්නට හැක්කේද එහි සිටියේ අනිකුත් කාර්ය හැරදමා භාග්‍යවතුන් වහන්සේ දෙසම බලමින් වාසය කරයි. ශාස්තෲන් වහන්සේ ඔහුගේ ඥාන පරිපාකයට පැමිණෙමින් බොහෝ කලක් ඔහු රූප දර්ශනයෙන් හැසිරෙන කල්හි කිසිවක් නොකියා නැවත එක් දවසක් වක්කලී, මේ කුණු ශරීරය දැකීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද. වක්කලී, යමෙක් ධර්මය දකීද හේ මා දකී. වක්කලි ධර්මය දකින්නේ මා දකී’ යයි කී සේක. ශාස්තෲන් වහන්සේ මෙසේ කියද්දීත් තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ දර්ශනය අත්හැර අන්තැනක යාමට නොහැක්කාහු වෙති. ඉන්පසු ශාස්තෲන් වහන්සේ ‘මේ භික්‍ෂුව සංවේගය නොලැබ අවබෝධ කර නොගන්නේ යයි වස් එළඹෙන දිනයෙහි ‘වක්කලී ඉවත්වන්නැ’යි අත දික්කළ සේක. හේ ශාස්තෲන් වහන්සේ විසින් මම එළවාදමන ලද්දේ වෙමියි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි සිටීමට නොහැක්කේ ‘ශාස්තෲන් වහන්සේ දැකීමට නොලබමි නම් මාගේ ජීවිතයෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ගිජුකුළු පවුවෙහි ප්‍රපාතස්ථානයකට නැගුණේය. ශාස්තෲන් වහන්සේ එපුවත දැන මේ භික්‍ෂුව මා සමීපයෙන් ආස්වාදයක් නොලබන්නේ මාර්ගඵලයන්ට ඇති උපනිශ්‍රය නසා ගත්තේය’යි තමන් වහන්සේ දක්වා ආලෝකයක් යවන සේක්,
පාමුජ්ජ බහුලො භික්ඛු පසන්නො බුද්ධසාසනෙ,
අධිගච්ඡෙ පදං සන්තං සඞ්ඛාරූපසමං සුඛං
පමුදිත බව බහුල සසුනෙහි පහන් මහණහු
සකර සන්සුන් සුව ඇති - නිවන්පදයට පැමිණේ
ගාථාව වදාරා වක්කලි එන්නැයි අත දිගුකළ සේක. තෙරුන්වහන්සේ මා විසින් බුදුරජාණන් වහන්සේ දක්නා ලදහ. එන්නැයි ඇමතුමක්ද ලැබුණේයයි බලවත් ප්‍රීති සෝමනස්සයක් උපදවාගෙන කොතැනින් එමිදැයි තමාගේ පැමිණෙන ස්ථානය නොදැනම ශාස්තෲන් වහන්සේ සමීපයෙහි අහසෙහි පැන නගින්නේ පළමු පයින්ම පර්වතයෙහි සිටියේම ශාස්තෲන් වහන්සේ විසින් කියන ලද ගාථා ආවර්ජනය කරන්නේ අහසෙහිදීම ප්‍රීතිය ඔබා තබා සිව්පිළිසිඹියා සහිතව රහත් බවට පැමිණියාහු යයි අංගුත්තර අටුවාවේද ධම්මපද වර්ණනාවෙහිද පැමිණියේය.
මෙහි වනාහි මෙසේ දතයුතුයි. කිංතෙ වක්කලී යනාදි වශයෙන් ශාස්තෲන් වහන්සේ විසින් අවවාද දෙනු ලැබුවේ ගිජුකුළු පව්වෙහි වාසය කරන්නේ විදර්ශනාව එළඹවා ගත්හ. ඔහුගේ ශ්‍රද්ධාවෙහි බලවත් බැවින් මෙසේ විදර්ශනා වීථියට නොබසී. භාග්‍යවතුන් වහන්සේ එය දැන කමටහන් පිරිසිදුකොට දුන් සේක. ඉන්පසුව ඔහු විදර්ශනාව මුදුන්පත් කරගැනීමට නොහැකි වූයේමය. ඉක්බිති ඔහුට ආහාර වෙනසින් වාතාබාධයක් උපන. ඔහු වාතාබාධයෙන් පෙළෙමින් සිටින බව දැන භාග්‍යවතුන් වහන්සේ එහි වැඩමකොට විචාරන සේක්,
වාතරොගාභි නීතො ත්‍වං විහරං කානනෙ වනෙ,
පවිට්ඨ ගොචරෙ ලූඛෙ කථං භික්ඛු කරිස්සසි
මහණකුට නුසුදුසු ගොරහැඩි වෙනෙහි වෙසෙමින්,
වාත රෝගයෙන් පෙළෙමින් මහණ ඔබ කුම් කෙරෙහිද?
යයි ඇසූ සේක. ඒ අසා,
පීතිසුඛෙන විපුලෙන ඵරමානො සමුස්සයං,
ලුබම්පි අහි සම්භොන්තො විහරිස්සාමි කාන නෙ
මහා තුටු සුවයක් - පතුරුවා මුළු සිරුරෙහි
කුළුඅහර වළඳමින් - වෙසෙනෙමි මහා වනයෙහි
භාවෙන්තො සතිපට්ඨානෙ ඉන්‍ද්‍රියානි බලානිච,
බොජ්ඣංගානිච භාවෙන්තො විහරිස්සාමි කානනෙ
සීවටන් පස් ඉඳුරන් - පස් බලයන්ද වඩමින්,
සත් බෝ අඟ ද වඩමින් - වෙසෙනෙමි මහා වනයෙහි
ආරද්ධ විරියො පහිතත්තො නිච්චං දළ්හං පරක්කමො,
සමග්ගෙ සහිතෙ දිස්වා විහරිස්සාමි කානනෙ
ඇරඹූ විරිය ඇත්තෙමි - නිවන්මගම නහවා,
නිතර දැඩි පැරකුම් වෙමි - වෙසෙමි මෙහි සගයන් දැක
අනුස්සරන්තො සම්බුද්ධං අග්ගං දන්තං සමාහිතං,
අතන්‍දිතො රත්තිං දිවං විහරිස්සාමි කානනෙ
අග දැමි සමාහිත - සම්බුදුන් සිහිකරමින්,
දිව රෑ අනලස්ව - වසනෙමි මහා වනයෙහි
ගාථා හතර කීය. ඒ ගාථාවල ථෙරගාථා වර්ණනාවෙහි කියන ලද්දේම ය. මෙසේ තෙරුන් වහන්සේ විදර්ශනාව උත්සුක කරවා රහත් බවට පැමිණියහ.
රහත්බවට පත්ව තමාගේ පෙර කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇතිව පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ‘ඉතො සත සහස්සම්හි’ ආදිය කීහ. එහි ඉතො යනු කකුසඳ ආදී බුදුවරුන් උපන් භද්‍රකල්පයෙන් යට කල්ප සියදහසක් මතුයෙහි යන අර්ථයි.
පදුමාකරවදනො යනු මනා සේ පිපුණු පියුමක සිරිය ඇති මුහුණ. පදුමපක්කක්ඛො යනු සුදු පියුම් පෙති හා සමාන ඇස් යන අර්ථයි.