49. සුභද්‍ර ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො ලොකවිදූ ආදී වශයෙන් ආයුෂ්මත් සුභද්‍ර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින්තැන නිර්වාණාවබෝධයට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධනසම්පත් ඇති සැදැහැති එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණ ගෘහ බන්ධනයෙන් බැඳුණේ තෙරුවන්හි පහන් වූයේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ දැක, රැස්වූ දසදහසක් සක්වළ දෙවියන් ද දැක පහන් සිතැත්තේ නිග්ගුණ්ඩි, කේතකී, නීලක, අසෝක අසිත ආදී නොයෙක් සුවඳමලින් පූජා කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් දිවි ඇතිතාක් සිට එයින් මියගොස් තුසිත ආදියෙහි දිව්‍යසම්පත් අනුභවකොට ඉන් මනුෂ්‍යයන් අතර උපනුපන් තැන්වලදී ද සුවඳ මලින් ද පුදන ලද්දේ විය. මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් ධනසම්පත් ඇති කුලයෙක ඉපිද මිනිස් සැප අනුභවකොට දැනමිති බවට පැමිණියේ කාමයන්හි ආදීනව දැක පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා කල්හි එතෙක් නොලද බුද්ධ දර්ශන ඇත්තේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි වැදහොත් කල්හිම පැවිදිව රහත්බවට පත්විය. පෙර කරන ලද පින්කමෙහි නමින් සුභද්‍ර යයි ප්‍රකට විය.
හේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරො ලොකවිදූ යනාදිය කීය. එය නොගැඹුරු අරුත් ඇත්තේමය. “මා කියන්නක් අසවු. ආශ්‍රව නැත්තේ පිරිනිවන් පාන්නේය”යි මෙය පිරිනිවන් මංචකයෙහි වැදහොත් සේක්ම පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ සේක.
පස්වැනි මහ බණවර වර්ණනාව සමාප්තයි.
හේ තමාගේ ප්‍රතිපත්තිය දක්වන්නේ පුබ්බකම්මෙන සංයුත්තො ආදිය කීය. එකග්ගො යනු ඒකාග්‍ර සිත් ඇත්තේ. සුසමාහිතො යනු මනාසේ සමාහිත වූයේ නිවුනු සිතැත්තේ යන අර්ථයි. බුද්ධස්ස ඔරසොපුත්තො යනු බුදුරජාණන් වහන්සේගේ උරසා හදවතින් නික්මුණු අවවාද අනුශාසනා අසා පැමිණි රහත්ඵල ඇත්තේය යන අර්ථයි. ධම්මජොම්හි සුනිම්මිතො යනු ධර්මයෙන් කර්මස්ථාන ස්වභාවයෙන් උපන්නේ ආර්ය ජාතියෙන් සුනිම්මිතො මනාසේ නිපදවාගත් සියලු කෘත්‍ය ඇත්තේ අම්හි වෙමියි අර්ථයි.
ධම්මරාජං උපාගම්ම යනු ධර්මයෙන් සියලු සත්ත්වයන්ට රාජානං ප්‍රධාන වූ භාග්‍යවතුන් වහන්සේ කරා උපගන්ත්‍වා සමීපයට ගොස් යන අර්ථයි. ආපුච්ඡිං පඤ්හමුත්තමං යනු උතුම් වූ ස්කන්ධ ආයතන ධාතු ප්‍රතීත්‍ය සමුත්පාද ආදියෙන් යුතු ප්‍රශ්නයක් ඇසුවෙමි යන අර්ථයි. කථයන්තො ච මෙ පඤ්හං යනු මේ අපගේ භාග්‍යවතුන් වහන්සේය. මෙ මාගේ ප්‍රශ්න කථයන්තො ප්‍රකාශ කරන්නේ ධම්මසොතං උපානයී යනු අනුපාදිශේෂ නිර්වාණ සංඛ්‍යාත වූ ධම්මසොතං ධර්මය නමැති ප්‍රවාහයට උපානධි පිවිසියේය යන අර්ථයි.
ජලජුත්තරනායකො යනු පදුමුත්තර නම් ඇති මකාරයට රකාරය කොට කරන ලද ව්‍යවහාරයයි. නිබ්බායි නොපෙනුණේය. නෙපෙනී ගියේය. මනුෂ්‍ය ලෝකාදියෙහි කිසිතැනක නොපිහිටියේය යන අර්ථයි. දීපොව තෙල සඞ්ඛයා යනු පහන්වැටි නැතිවීමෙන් නිවීගිය පහනක් මෙන් යන සම්බන්ධයි.
සත්තයොජනිකං ආසී යනු පිරිනිවියා වූ ඒ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ රුවන්මුවා ස්තූපය යොදුන් සතක් උස ආසි විය යන අර්ථයි. ධජංතත්‍ථ අපූජයිං යනු තත්‍ථ ඒ චෛත්‍යයෙහි සබ්බ භද්දං සියල්ල සුන්දර වූ මනහර වූ ධජයක් පිදුවෙමි යන අර්ථයි.
කස්සපස්සච බුද්ධස්ස යනු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ කාලයෙහි පටන් පැමිණ දෙවිමිනිසුන් අතර හැසිරීමෙන් පසුව කාශ්‍යප සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයා වූ තිස්ස තෙමේ මාගේ පුත්‍රයා විය. ජින සාසනෙ බුද්ධ ශාසනයෙහි දායාදයක් ආසි විය යනු සම්බන්ධයි.
තස්ස හීනෙන මනසා යනු ඒ මාගේ පුත්‍ර වූ තිස්ස නම් අග්‍ර ශ්‍රාවකයාට හීනෙන ලාමක වූ මනසා සිතින් අභද්දකං අසුන්දර වූ අයුතු වූ අන්තකො අන්තකයා පශ්චිමයාය. යන චාවං වචනයක් අභාසිං කීවෙමියි අර්ථයි. තෙන කම්මවිපාකෙන යනු ඒ රහත්බවට නිගරුකිරීම් සංඛ්‍යාත අකුසල කර්මයෙහි විපාකයෙන්. පච්ඡිමෙ අද්දසංජිනං යනු පච්ඡිමෙ අවසානයෙහි, පිරිනිවන්පානා අවස්ථාවෙහි මල්ලයන්ගේ උපවර්තන සල්වනයෙහි පිරිනිවන් මංචකයෙහි වැදහොත් ජිනං සියලු මරුන් දිනූ අපගේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මම දුටුවෙමි යන අර්ථයි. පච්ඡිමෙ අසි භද්දකං යනුවෙන්ද පාඨයක් ඇත. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවසාන කාලයෙහි, පිරිනිවන්පෑමට ආසන්න කාලයෙහි මෙ මාගේ භද්දකං සොඳුරු වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ආසි විය යන අර්ථයි.
පබ්බාජෙසි මහාවීරො යනු මහාවීර්ය ඇති සියලු සතුන්ට හිතවත් කරුණාවෙන් යුතු මරුන් දිනූ මුනිවරයන් වහන්සේ මල්ලයන්ගේ උපවර්තන සල්වනයෙහි අවසන් සයනයෙහි පිරිනිවන් මංචකයෙහි වැදහොත් සේක්ම මා පැවිදිකළ සේක යන සම්බන්ධයි.