5. උපාලි වර්‍ගය
41. භාගිනෙය්‍ය උපාලි ථේර අපදාන වර්ණනාව
ඛීණාසව සහස්සෙහි ආදි වශයෙන් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගේ බෑණනු උපාලි තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවිය පත්ව ගෘහවාසයෙහි ආදීනව දැක ගිහිගෙය අතහැර සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව, පඤ්චඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව හිමවතෙහි විසූහ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකීව වසනු කැමති සේක් හිමවතට පිවිසිසේක. තවුසා පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක පහන් වූ සිතැත්තේ අඳුන්දිවි සම ඒකාංශකොට ඇඳිලිබැඳ වැඳ සිටියේම දසනිය එක්කොට ගත් ඇඳිලි හිසමත තබා නොයෙක් උපමාවන්ගෙන් නොයෙක් ස්තුති වචනයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කළේය. ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ‘මේ තවුසා අනාගතයෙහි ගෞතම නම් ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව විනයෙහි තියුණු නැණ ඇත්තවුන්ට අග්‍ර වන්නේයයි විවරණ දුන් සේක. ඔහු දිවිඇති තාක් සිට නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ, එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවස්තු නගරයෙහි උපාලි තෙරුන් වහන්සේගේ බෑණනුවන් වී උපන්නේය. ඔහු ක්‍රමයෙන් වැඩිවියපත් වූයේ මාමා වූ උපාලි තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදිව, කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ ආචාර්යයන් සමීපයෙහි විසූ බැවින් විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇති යමෙක් වේද ඒ බෑණනු උපාලිය’යි උන්වහන්සේ අගතන්හි තැබූ සේක.
උන්වහන්සේ මෙසේ තැනට පැමිණ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූවාහු පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු ඛීණාසව සහස්සෙහි ආදිය කී සේක. එහි හාත්පස සිට භවාග්‍රය තෙක් ගලාබසිති පවතිතියි ආසවා නම්. කාමාසව ආදී සතර ආසවයෝ. ඒ ආසව ක්‍ෂය කරන ලද්දේ වියලන ලද්දේ විශේෂයෙන් වියලන ලද්දේ විධ්වංසනය කරන ලද්දේ යම් කෙනකු විසින්ද ඒ ක්‍ෂීණ ආශ්‍රවයෝම දහසක් ඛීණාසවසහස්සා. ඒ දහසක් ඛීණාසවයන් විසින්. පරෙතො පිරිවරන ලද්දේ, ලොකනායකො ලෝකයා නිර්වාණයට පමුණුවන තැනැත්තේ, විවේකමනුයුත්තො සැඟවී සිටීමට, තනිවී සිටීමට ගියේයි සම්බන්ධයි.
අජිනෙන නිවත්‍ථොහං යනු මම අඳුන්දිවි සමින් වැසුණේ අඳුන් දිවිසම වස්ත්‍රයක් සේ අඳින්නේ යන අර්ථයි. තිදණ්ඩපරිවාරකො යනු කෙණ්ඩිය තබනු පිණිස දඬුවක් ගෙන දරන්නේ යන අර්ථයි. භික්ඛුසංඝපරිබ්බුළ්හං භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද ලෝකනායක බුදුරජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. සෙස්ස පැහැදිලි ම ය.
භාගිනෙය්‍ය උපාලි තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
42. සෝණකෝටිකණ්ණ ථේර අපදාන වර්ණනාව
අනොමදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කොටිකණ්ණ තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවියට පත්වූවාහු අඹුදරුවන් විසින් වඩන ලද්දාහු ධන සම්පත් ඇත්තාහු සසුනෙහි පැහැදුණාහු භාග්‍යවතුන් වහන්සේට සක්මන් කරනු පිණිස අලංකාර වූ සක්මනක් කරවා සුණුපිරියම් කරවා ආදාසතලයක් මෙන් සමසේ බබලන්නාක් කොට පහන් සුවඳ දුම් මල් ආදියෙන් සරසා භාග්‍යවතුන් වහන්සේට පවරා බුදුපාමොක් භික්‍ෂු සංඝයා ප්‍රණීත අහරින් පිදූහ. ඔහු මෙසේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි පෙළෙහි කියූ නයින් දිව්‍ය සම්පත් අනුභව කොට අතරෙහි ඔක්කාක කුලයෙහි උපන්නේ යයි ඒ සියල්ල පෙළෙහි කියූ අයුරින් දතයුතුය. පශ්චිම භවයෙහි කෝලිය රාජ වංශයෙහි උපන්නේ. වැඩිවිය පැමිණියේ කෝටියක් අගනා කන් පළඳනාවක් දැරූ බැවින් කොටිකණ්ණ කුටිකණ්ණ යනුවෙන්ද ප්‍රකට විය. ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.
උන්වහන්සේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය විස්තර කරන්නාහු අනොමදස්සිස්ස මුනිනො ආදිය කීහ. අනොමදස්සිස්ස යනු අනොමං අලාමක වූ සොඳුරු දැක්ම දෙතිස් මහපුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිත වූ බැවින්, ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් යුක්ත බැවින්, ආරෝහපරිණාහයෙන් යුක්ත බැවින්ද දර්ශනීය වූ ශරීරය යම් භාග්‍යවතුන් වහන්සේ කෙනකුන්ගේද ඒ අනෝමදස්සී මුනීන්ද්‍රයන් වහන්සේගේ යන අර්ථයි. තාදිනො යනු ඉටු අනිටු දෙයෙහි නොසැලෙන ස්වභාව ඇති. සුධාය ලොනං කත්‍වා යනු සුණුයෙන් තැවරූවක් කොට පහන් සුවඳ දුම් මල් ධජ පතාකාදියෙන් ද අලංකාර වූ සක්මනක් කාරයිං කෙළෙමි යන අර්ථයි. සෙසු ගාථාවල අර්ථය පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේ ම ය.