50. චුන්‍ද ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් චුන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධනසම්පත් ඇති කුලයක උපන්නේ දැනමිති බවට පැමිණ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී සත්රුවන්මුවා රන් ඇගෑයක් කරවා සමන්මලින් වසා භාග්‍යවතුන් වහන්සේට පූජා කළේය. ඒ මල් අහසට පැනනැගී වියනක ආකාරයෙන් සිටියේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාගතයෙහි ඔහු ගෞතම නම් භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි චුන්‍ද නම් ශ්‍රාවකයෙක් වන්නේයයි ප්‍රකාශ කළ සේක. හේ එම පුණ්‍යකර්මයෙන් ඉන් චුතවූයේ දෙව්ලොව උපන්නේ ක්‍රමයෙන් කාමාවචර සයෙහි දෙවියන් අතර සැප අනුභවකොට මිනිසුන් අතර චක්‍රවර්ති ආදී සම්පත් අනුභව කළේය. ඉන්පසු මේ බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි රූපසාරීයගේ පුත්‍ර වූ සාරිපුත්‍ර තෙරුන් වහන්සේගේ බාල සොහොයුරා වී උපන්නේය. දැනමිති බවට පත් ආරෝහ පරිණාහ රූප අවයවයන්ගේ සොඳුරු බව නිසා සකාරයව චකාරය තබා චුන්‍දයයි නම් කළහ. හේ වැඩිවිය පත්වූයේ ගිහිගෙයි ආදීනවද පැවිද්දෙහි ආනිසංසද දැක සොහොයුරු තෙරුන් වහන්සේගේ සමීපයෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පැමිණියේය.
උන්වහන්සේ පැමිණි රහත්ඵල ඇත්තාහු එක් දවසක් තමාගේ පුණ්‍යකර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නාහු සිද්ධත්‍ථස්ස භගවතො ආදිය කීහ. එය යට කියන ලද පරිදි වේ. අගසියං යනාදියද නොගැඹුරු අර්ථ ඇත්තේමය.
විතිණ්ණකඞ්ඛො සම්බුද්ධො යනු විශේෂයෙන් මාර්ගාධිගමයෙන් විචිකිච්ඡාව අත්හැර දැමූ බැවින් විතිණ්ණකඞ්ඛො සැක නැති සම්බුදු රජාණන් වහන්සේය. තිණ්ණොඝෙහි පුරක්ඛතො යනු කාමාදී සතර ඕඝයන්ගෙන් තිණ්ණකො එතෙර වූ බැවින් ඕඝතරණය කළ රහතන් වහන්සේ විසින් පුරක්ඛතො පිරිවරන ලද්දේ යන අර්ථයි. ව්‍යාකරණ ගාථා නොගැඹුරු අර්ථ ඇත්තේමය.
උපට්ඨහිං මහාවීරං යනු උත්තම අර්ථ ඇති නිර්වාණයට පත්තියා පැමිණීම පිණිස කල්ප දසදහසකට අධික චතුරාසංඛ්‍ය කල්පයන්හි පාරමී පුරන්නා වූ කරන ලද වීර්ය ඇති බැවින් මහාවීරං බුදුරජාණන් වහන්සේට උපට්ඨහිං උපස්ථාන කළෙමි යන අර්ථයි. අඤ්ඤෙච පෙසලෙ බහු යනු හුදෙක් උපස්ථාන කළේ බුදුරජාණන් වහන්සේට පමණක් නොවේ. පෙසලෙ ප්‍රියශීලී වූ සීලවන්ත වූ අනික් බොහෝ අග්‍රප්‍රාප්ත වූ ශ්‍රාවකයන්ට. මෙ මාගේ භාතරං සැරියුත් තෙරුන් වහන්සේටද උපස්ථාන කෙළෙමි යනු සම්බන්ධයි.
භාතරං මෙ උපට්ඨහිත්‍වා යනු මාගේ සහෝදරයාට උපට්ඨහිත්‍වා වත් පිළිවෙත් කොට උන්වහන්සේ පිරිනිවියේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවීමට කලින් බැවින් උන්වහන්සේගේ ශාරීරික ධාතූන් ගෙන පාත්‍රයෙහි බහා ලොකජෙට්ඨස්ස මනුෂ්‍යයන්ට ප්‍රධාන වූ බුදුරජාණන් වහන්සේට උපනාමෙසිං දුන්නෙමි යන අර්ථයි.
උභොහත්‍ථෙහි පග්ගයහාති යනු ඒ මා දුන් ධාතූන් ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ දෑතින් මනාව ගෙන ඒ ධාතූන් සං මනාසේ පෙන්වමින් අග්ගසාවකං සාරිපුත්‍ර තෙරුන් වහන්සේ කිත්තයි ප්‍රකාශ කළ සේක යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
චුන්ද තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
පස්වැනි වර්ග වර්ණනාව සමාප්තයි.
6. බීජනි වර්‍ගය
51. විධූපනදායක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස බුද්ධස්ස ආදි වශයෙන් ආයුෂ්මත් විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි පුරන ලද පුණ්‍ය සම්භාර ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ධනසම්පත් ඇත්තේ හටගත් ශ්‍රද්ධා ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුනේ ග්‍රීෂ්ම කාලයෙහි රන්රිදී මුතුමැණික් මුවා විජිනිපතක් කරවා භාග්‍යවතුන් වහන්සේට දුන්නේය. හේ එම පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපන්කල්හි එක් කුලගෙයක උපන්නේ ගෘහ බන්ධනයෙන් බැඳී ගිහිගෙයි ආදීනව ද පැවිද්දෙහි ආනිසංස ද දැක ශ්‍රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් විය.
“මා විසින් ඒ පුණ්‍යකර්මයෙන් මේ ලෝකෝත්තර සම්පත්තිය ලබන ලද්දේය”යි තමාගේ පූර්ව කර්මය සිහිකරන්නේ එය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස බුද්ධස්ස යනාදිය කීය. එය යට කියන ලද පරිදි වේ. වීජනිකා මයා දින්නා යනු විශේෂයෙන් තාපයට පැමිණි සත්ත්වයන්ගේ උෂ්ණය නිබ්බාපෙති නිවයි. සීතල වාතය උපදවයිනුයි වීජනී නමි. වීජනී ම වීජනිකා නමි. සත්රුවන් මුවා විජිනිපත කරවා දෙන ලද්දේය යන අර්ථයි.
විධූපනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
52. සතරංසික ථේර අපදාන වර්ණනාව
උච්චියං සෙලමාරුය්හ යනාදි වශයෙන් ආයුෂ්මත් සතරංසික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බමුණු කුලයෙහි උපන්නේ දැනමිති බවට පත්වූයේ සංස්කෘත ව්‍යාකරණයෙහිද ත්‍රිවේදයෙහිද පරතෙරට ගියේ ගිහිගෙයි වාසය හැර අරණ්‍යයට පිවිස සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව හිමවතෙහි වාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකය කැමති බැවින් එක් උස් පර්වතයකට නැග දැල්වෙන ගිනිකඳක් මෙන් වැඩහුන් සේක. එසේ වැඩහුන් ඒ භාග්‍යවතුන් වහන්සේ දැක තාපසයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලි බැඳ නොයෙක් කරුණින් ස්තුති කළේය. හේ එම පුණ්‍යකර්මයෙන් එයින් චුතවූයේ කාමාවචර දේවලෝක සයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට එයින් මනුෂ්‍ය ලෝකයෙහි සතරංසි නම් සක්විති රජව උපන්නේ ය. ඒ සම්පත්තියද නොයෙක්වර අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්‍ය සම්භාර වශයෙන් ඥානය මුහුකුරා ගිය බැවින් සත්හැවිරිදි වියෙහිම පැවිදිව රහත් විය.