43. කාළිගෝධාපුත්රභද්දිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර සම්බුද්ධං යනාදී වශයෙන් ආයුෂ්මත් භද්දිය කාලිශොධාපුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක උපන්නාහු වැඩිවිය පත්වූවාහු අඹුදරුවන් විසින් වර්ධනය කරන ලද්දාහු නුවරවැසියන් පින් කරනු දැක තමාද පින්කරනු කැමැත්තාහු බුදුපාමොක් භික්ෂු සංඝයා ආරාධනය කොට ඝන හැසුණු මල්කම් ආදිය යොදා නොයෙක් මාහැඟි යහන් පනවා සංඝයා සමග භාග්යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ප්රණීත ආහාරයෙන් වළඳවා මහා දානයක් දුන්හ. හේ මෙසේ දිවි ඇති තාක් පින්කොට දෙවි මිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට පසුකලෙක මෙම බුද්ධෝත්පාද කාලයෙහි කාලිගෝධා නම් දේවියගේ පුත්ර ව උපන්නේය. හේ දැනමිති බවට පත්වූයේ ආරෝහ පරිණාහ අත්පා රූප සම්පත්තියෙන් සුන්දර වූ බැවින්ද, කාලිගෝධා දේවියගේ පුත්රයා වූ බැවින්ද භද්දිය කාලිගෝධාපුත්රයයි ප්රකට වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මව්පියන් සතුටුකොට පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.
හේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ පදුමුත්තර සම්බුද්ධං යනාදිය කීය. එය පෙර කී අර්ථය ම ය. මෙත්ත චිත්තං යනු සියලු සත්ත්වයන් කෙරෙහි මෘදුවෙයි. සෙනෙහවත් වෙයි. සතුටුවෙයි නුයි මෙත්තා. මෛත්රියෙන් යුත් සිත මෙත්තචිත්තං. එය මේ භාග්යවතුන් වහන්සේට ඇත්තේනුයි මෙත්තචිත්තො. එය මෙත්තචිත්තං. මහාමුනී යනු සියලු භික්ෂූන්ට මහත්වේනුයි මහාමුනි. උන්වහන්සේ පදුමුත්තර සම්බුද්ධං යනු සම්බන්ධයි. ජනතා සබ්බා යනු සියලු ජනකාය. සියලු නගර වැසියෝ යන අර්ථයි. සබ්බ ලොකග්ගනායකං යනු සියලු ලෝකයාට අග්ර වූ ශ්රේෂ්ඨ වූ නිර්වාණයට ගෙනයන බැවින් පමුණවන බැවින් නායක වූ පදුමුත්තර සම්යක් සම්බුදුරජාණන් වහන්සේ. ජනතා උපෙති සමීපයට යතියි සම්බන්ධයි.
අග්ගලා අත්සුණු සංඛ්යාත ආමිෂය. නැතහොත් බත්, කැවුම්, කෑයුතු දෑ, බිවයුතු දෑ, කැඳ ආදිය යාවකාලික බැවින් ආමිෂ වූ බෙහෙත් ද පැන් ද ගෙන පින්කෙත් වූ අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ වෙත දෙති යනු සම්බන්ධයි.
ආසනං බුද්ධපුත්තකං යනු බුදුන්ට යෝග්ය වූ, බුදුන්ට සුදුසු වූ, බුදුන්ට ගැළපෙන්නා වූ සත්රුවන් මුවා අසුන යන අර්ථයි. සෙස්ස නියමානුයෝගයෙන් පහසුවෙන් දත හැක්කේමය.
භද්දිය කාලිශොධා පුත්ර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
44. සන්නිට්ඨාපක ථේර අපදාන වර්ණනාව
අරඤ්ඤෙකුටිකං කත්වා යනාදි වශයෙන් ආයුෂ්මත් සන්නිට්ඨාපක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙරබුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පැමිණියේ ගෘහබන්ධනයෙන් බැඳුණේ ගිහිගෙයි ආදීනව දැක වස්තුකාම ක්ලේශ කාමයන් හැර හිමවත නුදුරෙහි පර්වත අතරෙහි අරණ්යවාසය කළේය. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහ්නසේ විවේක කැමති බැවින් එතැනට පැමිණි සේක. ඉක්බිති ඒ තවුසා භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ වැඳ වැඩහිඳිනු පිණිස තණ ඇතිරියක් පනවා දුන්නේය. එහි වැඩහුන් භාග්යවතුන් වහන්සේ නොයෙක් මිහිරි තිඹිරි ආදී කුදුමහත් ඵලයෙන් සන්තර්පණය කළේය. හේ ඒ පින්කමින් එයින් චුතව දෙවියන් අතරද මනුෂ්යයන් අතරද වරින්වර සැරිසරන්නේ උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ ශ්රද්ධා ඇත්තේ පැවිදි වූයේ විදසුන් වඩා නොබෝ කලකින්ම රහත් විය. හිස බානා කල්හිම රහත් ඵලයට පත්වූවාක් මෙන් නිරුත්සාහයෙන්ම ශාන්තිපද සංඛ්යාත වූ නිර්වාණයෙහි මනාව සිටි බැවින් සන්නිට්ඨාපක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
රහත්ව තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ අරඤ්ඤෙකුටිකං කත්වා යනාදිය කීය. එහි අරඤ්ඤෙ යනු සිංහ ව්යාඝ්ර ආදීන්ගේ භය නිසා මනුෂ්යයෝ එහි නොඇලෙති. රමණය නොකරති. ඇලීගැලී නොසිටිතියි අරඤ්ඤ නම් වේ. එම අරණ්යයෙහි කුටිකං යනු තණ හෙවූ කුඩා කුටියක් කොට පර්වත අතරෙහි වසාමි වාසය කරමි යන අර්ථයි. ලාභයෙන් ද, අලාභයෙන් ද, යසසින් ද, අයසින් ද සතුටුව විසුවෙමියි සම්බන්ධයි.
ජලජුත්තම නාමකං යනු ජලයෙහි උපන් ජලජං පියුම ජලජං උත්තමං ජලජුත්තමං. පියුමකට සමාන නමක් යමකුට ඇත්ද හේ ජලජුත්තම නම් වේ. ඒ පදුමුත්තර නම් වූ සම්යක් සම්බුදුරජාණන් වහන්සේ යන අර්ථයි. සෙස්ස පෙළෙහි නියමානුසාරයෙන් පහසුවෙන් දතහැක්කේ ම ය.