42. සෝණකෝටිකණ්ණ ථේර අපදාන වර්ණනාව
අනොමදස්සිස්ස මුනිනො යනාදි වශයෙන් ආයුෂ්මත් කොටිකණ්ණ තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නාහු අනෝමදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවියට පත්වූවාහු අඹුදරුවන් විසින් වඩන ලද්දාහු ධන සම්පත් ඇත්තාහු සසුනෙහි පැහැදුණාහු භාග්‍යවතුන් වහන්සේට සක්මන් කරනු පිණිස අලංකාර වූ සක්මනක් කරවා සුණුපිරියම් කරවා ආදාසතලයක් මෙන් සමසේ බබලන්නාක් කොට පහන් සුවඳ දුම් මල් ආදියෙන් සරසා භාග්‍යවතුන් වහන්සේට පවරා බුදුපාමොක් භික්‍ෂු සංඝයා ප්‍රණීත අහරින් පිදූහ. ඔහු මෙසේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව උපන්නේ එහි පෙළෙහි කියූ නයින් දිව්‍ය සම්පත් අනුභව කොට අතරෙහි ඔක්කාක කුලයෙහි උපන්නේ යයි ඒ සියල්ල පෙළෙහි කියූ අයුරින් දතයුතුය. පශ්චිම භවයෙහි කෝලිය රාජ වංශයෙහි උපන්නේ. වැඩිවිය පැමිණියේ කෝටියක් අගනා කන් පළඳනාවක් දැරූ බැවින් කොටිකණ්ණ කුටිකණ්ණ යනුවෙන්ද ප්‍රකට විය. ඔහු භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලකින්ම රහත්බවට පැමිණියහ.
උන්වහන්සේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට උපන් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය විස්තර කරන්නාහු අනොමදස්සිස්ස මුනිනො ආදිය කීහ. අනොමදස්සිස්ස යනු අනොමං අලාමක වූ සොඳුරු දැක්ම දෙතිස් මහපුරිස් ලකුණින් ප්‍රතිමණ්ඩිත වූ බැවින්, ව්‍යාමප්‍රභා මණ්ඩලයෙන් යුක්ත බැවින්, ආරෝහපරිණාහයෙන් යුක්ත බැවින්ද දර්ශනීය වූ ශරීරය යම් භාග්‍යවතුන් වහන්සේ කෙනකුන්ගේද ඒ අනෝමදස්සී මුනීන්ද්‍රයන් වහන්සේගේ යන අර්ථයි. තාදිනො යනු ඉටු අනිටු දෙයෙහි නොසැලෙන ස්වභාව ඇති. සුධාය ලොනං කත්‍වා යනු සුණුයෙන් තැවරූවක් කොට පහන් සුවඳ දුම් මල් ධජ පතාකාදියෙන් ද අලංකාර වූ සක්මනක් කාරයිං කෙළෙමි යන අර්ථයි. සෙසු ගාථාවල අර්ථය පෙළ අනුසරින් පහසුවෙන් දතහැක්කේ ම ය.
පිරිවර සම්පත්, ධන සම්පත් සංඛ්‍යාත යසස කරතියි යසෝධරා නමි. මේ සියලු සත් සත් චක්‍රවර්ති රජවරු යශෝධර නමින් එක් නමක් ඇත්තාහුයි සම්බන්ධයි.
අඞ්ගීරසො යනු අංගයන්ගෙන් ශරීරයෙන් නික්මුණු රශ්මිය යමකුගේද හෙතෙම අඞ්ගීරස නමි. ඡන්ද, දෝස, මෝහ, භය, අගතීන්ගෙන් හෝ පාපාචාර වශයෙන් හෝ සතර අපායට නොයතියි නාග නමි. මහත් වූයේද පූජිත වූයේද හෙතෙම නාග වෙතියි මහානාග නමි. සෙස්ස කියන ලද අර්ථ ඇත්තේ ම ය.
කොටිකණ්ණ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
43. කාළිගෝධාපුත්‍රභද්දිය ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර සම්බුද්ධං යනාදී වශයෙන් ආයුෂ්මත් භද්දිය කාලිශොධාපුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මුන්වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධන සම්පත් ඇති එක් කුලයක උපන්නාහු වැඩිවිය පත්වූවාහු අඹුදරුවන් විසින් වර්ධනය කරන ලද්දාහු නුවරවැසියන් පින් කරනු දැක තමාද පින්කරනු කැමැත්තාහු බුදුපාමොක් භික්‍ෂු සංඝයා ආරාධනය කොට ඝන හැසුණු මල්කම් ආදිය යොදා නොයෙක් මාහැඟි යහන් පනවා සංඝයා සමග භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් කල්හි ප්‍රණීත ආහාරයෙන් වළඳවා මහා දානයක් දුන්හ. හේ මෙසේ දිවි ඇති තාක් පින්කොට දෙවි මිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට පසුකලෙක මෙම බුද්ධෝත්පාද කාලයෙහි කාලිගෝධා නම් දේවියගේ පුත්‍ර ව උපන්නේය. හේ දැනමිති බවට පත්වූයේ ආරෝහ පරිණාහ අත්පා රූප සම්පත්තියෙන් සුන්දර වූ බැවින්ද, කාලිගෝධා දේවියගේ පුත්‍රයා වූ බැවින්ද භද්දිය කාලිගෝධාපුත්‍රයයි ප්‍රකට වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද මව්පියන් සතුටුකොට පැවිදිව නොබෝ කලෙකින්ම රහත් විය.
හේ රහත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තර සම්බුද්ධං යනාදිය කීය. එය පෙර කී අර්ථය ම ය. මෙත්ත චිත්තං යනු සියලු සත්ත්වයන් කෙරෙහි මෘදුවෙයි. සෙනෙහවත් වෙයි. සතුටුවෙයි නුයි මෙත්තා. මෛත්‍රියෙන් යුත් සිත මෙත්තචිත්තං. එය මේ භාග්‍යවතුන් වහන්සේට ඇත්තේනුයි මෙත්තචිත්තො. එය මෙත්තචිත්තං. මහාමුනී යනු සියලු භික්‍ෂූන්ට මහත්වේනුයි මහාමුනි. උන්වහන්සේ පදුමුත්තර සම්බුද්ධං යනු සම්බන්ධයි. ජනතා සබ්බා යනු සියලු ජනකාය. සියලු නගර වැසියෝ යන අර්ථයි. සබ්බ ලොකග්ගනායකං යනු සියලු ලෝකයාට අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ නිර්වාණයට ගෙනයන බැවින් පමුණවන බැවින් නායක වූ පදුමුත්තර සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ. ජනතා උපෙති සමීපයට යතියි සම්බන්ධයි.