38. ආයාගදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතො ලොකනාථම්හි ආදී වශයෙන් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ සිඛී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිකල්හි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදුණේ වඩුවන්ට මුදල් දී අතිමනෝහර දික් බොජුන්හලක් කරවා භික්‍ෂු සංඝයාට ආරාධනාකොට ප්‍රණීත ආහාරයෙන් වළඳවා මහදන් දී සිත පැහැදවීය. ඔහු දිවි ඇති තෙක් පින්කොට දෙවි මිනිසුන් අතරම සැරිසරන්නේ උභයසම්පත්තීන් අනුභවකොට මෙම බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ ලද සැදැහැ ඇත්තේ පැවිදිව උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත් බවට පත්විය. පෙර කරන ලද පුණ්‍ය වශයෙන් ආයාග තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
මෙසේ ඔහු කරන ලද පුණ්‍යසම්භාර වශයෙන් රහත් බවට පත්ව තමා විසින් පෙර කරන ලද කුසල කර්මය සිහිකොට සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. එහි වදතං අපි බුදුවරුයයි කියන්නවුන් අතරෙහි, වරෙ උත්තම වූ සිඛී භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු ශ්‍රද්ධාව නිසා තුටුපහටු වූයේ සොම්නස් සහිත සිත් ඇති බැවින් පහටු වූ සිතින්. උත්තමං ථූපං ශ්‍රේෂ්ඨ චෛත්‍යය. අවන්‍දිං වැන්දෙමියි අර්ථයි.
වඩ්ඪකීහි කථාපෙත්‍වා යනු බොජුන්හලෙහි පමාණං ප්‍රමාණය කොපමණදැයි කියවා යනු අර්ථයි. මූලං දත්‍වානහං තදා යනු තදා එකල්හි මම වැඩකරනු පිණිස ඒ වඩුවන්ට මුදල් දී ආයාගං දිග බොජුන්හලක් සන්තුට්ඨො සොම්නස් සිතින්. මම කරාපෙසහං කරවීමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
ආයාගස්ස ඉදංඵලං යනු බොජුන්හල් දන්දීමේ මේ විපාකයයි අර්ථයි.
ආයාගදායක තෙරුන්වහන්සේගේ අපදාන අටුවාවයි.
39. ධම්මචක්කික ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් ධම්මචක්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ අඹුදරුවන් සමග වැඩුණේ විභව සම්පත් ඇත්තේ මහාභෝග ඇත්තේ තුනුරුවන්හි පැහැදුණේ සැදැහැ ඇත්තේ දම්සභාවෙහි ධර්මාසනය පිටුපස රුවන්මුවා ධර්මචක්‍රයක් කරවා පූජා කළේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උපනුපන් තැන ශක්‍රසම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තිය ද අනුභවකොට ක්‍රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ විභව සම්පත් ඇත්තේ උපන් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලකින්ම රහත්බවට පත්ව පෙර කරන ලද කුසල නාමයට සමාන නමින් ධම්මචක්කිය තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.
හෙතෙම පුණ්‍යසම්භාර අනුරූපව පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පෙර කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීය. සීහාසන සම්මුඛා යනු සීහස්ස වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි බුද්ධාසනය ඉදිරිපිට ස්ථානයෙහි යන අර්ථයි. ධම්මචක්කං මයා ඨපිතං යනු මා විසින් ධර්මචක්‍රාකාරයෙන් දෙපස සිංහරූපය දක්වා මැද දර්පණයක් වැනිව කරවන ලද ධර්මචක්‍රය තබන ලදි. කුමක් සිදුවීද. හොඳින් දන්නා වූ බුද්ධිමතුන් විසින් අතිසුන්දරයයි වර්ණනා කරන ලදි. ස්ථිරව තබන ලද මනාසේ කරන ලද ධර්මචක්‍රය යන සම්බන්ධයි.
චාරුවණ්ණොව සොභාමි යනු ස්වර්ණ වර්ණ මෙන් සොභාමි බැබලෙමියි අර්ථයි. සිව්වණින් බැබලෙමි යනුද පාඨයකි. ඔහුට ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර සංඛ්‍යාත වූ චතුර්වර්ණයෙන් සොභාමි බබලමි යන අර්ථයි. සයොග්ගබල වාහනො යනු රන්සිවිගෙවල් ආදි වූ යෙදුම්වලින් ද සේනාපති මහාමාත්‍ර ආදී වූ සේවකයන්ගෙන් ද බලයන්ගෙන් ද අශ්වරථ සංඛ්‍යාත වූ වාහනයන්ගෙන් ද යුක්ත වූ යන අර්ථයි. බහුජ්ජනා බොහෝ මිනිස්සු. අනුයුත්තා මට අනුව පවත්නාහු නිච්චං නිතිකල් මා පිරිවරති යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.