39. ධම්මචක්කික ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් ධම්මචක්කදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ අඹුදරුවන් සමග වැඩුණේ විභව සම්පත් ඇත්තේ මහාභෝග ඇත්තේ තුනුරුවන්හි පැහැදුණේ සැදැහැ ඇත්තේ දම්සභාවෙහි ධර්මාසනය පිටුපස රුවන්මුවා ධර්මචක්‍රයක් කරවා පූජා කළේය. ඔහු ඒ පුණ්‍ය කර්මයෙන් දෙවිමිනිසුන් අතර උපනුපන් තැන ශක්‍රසම්පත්තිය ද චක්‍රවර්ති සම්පත්තිය ද අනුභවකොට ක්‍රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ විභව සම්පත් ඇත්තේ උපන් ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලකින්ම රහත්බවට පත්ව පෙර කරන ලද කුසල නාමයට සමාන නමින් ධම්මචක්කිය තෙරුන්වහන්සේ යයි ප්‍රකට විය.
හෙතෙම පුණ්‍යසම්භාර අනුරූපව පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පෙර කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීය. සීහාසන සම්මුඛා යනු සීහස්ස වැඩහුන් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි බුද්ධාසනය ඉදිරිපිට ස්ථානයෙහි යන අර්ථයි. ධම්මචක්කං මයා ඨපිතං යනු මා විසින් ධර්මචක්‍රාකාරයෙන් දෙපස සිංහරූපය දක්වා මැද දර්පණයක් වැනිව කරවන ලද ධර්මචක්‍රය තබන ලදි. කුමක් සිදුවීද. හොඳින් දන්නා වූ බුද්ධිමතුන් විසින් අතිසුන්දරයයි වර්ණනා කරන ලදි. ස්ථිරව තබන ලද මනාසේ කරන ලද ධර්මචක්‍රය යන සම්බන්ධයි.
චාරුවණ්ණොව සොභාමි යනු ස්වර්ණ වර්ණ මෙන් සොභාමි බැබලෙමියි අර්ථයි. සිව්වණින් බැබලෙමි යනුද පාඨයකි. ඔහුට ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්‍ර සංඛ්‍යාත වූ චතුර්වර්ණයෙන් සොභාමි බබලමි යන අර්ථයි. සයොග්ගබල වාහනො යනු රන්සිවිගෙවල් ආදි වූ යෙදුම්වලින් ද සේනාපති මහාමාත්‍ර ආදී වූ සේවකයන්ගෙන් ද බලයන්ගෙන් ද අශ්වරථ සංඛ්‍යාත වූ වාහනයන්ගෙන් ද යුක්ත වූ යන අර්ථයි. බහුජ්ජනා බොහෝ මිනිස්සු. අනුයුත්තා මට අනුව පවත්නාහු නිච්චං නිතිකල් මා පිරිවරති යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
ධම්මචක්කිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
40. කප්පරුක්ඛිය ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයෙහි නිර්වාණාවබෝධයට උපායභූත වූ පින් රැස් කරන්නාහු සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති එක් කුලයක උපන්නාහු මහාධන ඇත්තාහු මහාභෝග ඇත්තාහු ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණාහු සත්රුවනින් විසිතුරු වූ රුවන්මුවා කප්රුකක් කරවා සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යය සමීපයෙහි තබා පූජා කළහ. ඔහු මෙබඳු පින්කොට දිවි ඇති තෙක් සිට එයින් චුතව සුගතීන්හිම සැරිසරන්නේ ක්‍රමයෙන් මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගිහිගෙය තබා තෙරුවන්හි පැහැදුණේ දහම් අසා ලැබූ සැදැහැ ඇත්තේ ශාස්තෲන් වහන්සේ සතුටුකොට පැවිදි වූයේ නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණ පෙර කරන ලද පුණ්‍ය කර්මයෙන් කප්පරුක්ඛිය තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
ඔහු මෙසේ පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස භගවතො යනාදිය කීය. ථූපසෙට්ඨස්ස සම්මුඛා යනු ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ධාතු නිධන් කරන ලද ථූපස්ස චෛත්‍යයට සමීප තැනක, විචිත්ත දුස්සෙ නොයෙක් වර්ණයන්ගෙන් විසමෙ විසදෘශ වූ. විචිත්තෙ මනහර චීනපට සෝමාරපට ආදී රෙදි. ලංඝිත්‍වා එල්ලා. කප්පරුක්ඛං ඨපෙසහං මම පිහිටු වූයෙමි යන අර්ථයි. සෙස්ස කියන ලද අර්ථ ඇත්තේ ම ය.
කප්පරුක්ඛිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
සතරවැනි වර්ග වර්ණනාව සමාප්තයි.
5. උපාලි වර්‍ගය
41. භාගිනෙය්‍ය උපාලි ථේර අපදාන වර්ණනාව
ඛීණාසව සහස්සෙහි ආදි වශයෙන් ආයුෂ්මත් උපාලි තෙරුන් වහන්සේගේ බෑණනු උපාලි තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ තෙරුන් වහන්සේ ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු ඒ ඒ භවයන්හි පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නාහු වැඩිවිය පත්ව ගෘහවාසයෙහි ආදීනව දැක ගිහිගෙය අතහැර සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව, පඤ්චඅභිඥා අෂ්ට සමාපත්තිලාභීව හිමවතෙහි විසූහ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ විවේකීව වසනු කැමති සේක් හිමවතට පිවිසිසේක. තවුසා පූර්ණ චන්ද්‍රයා මෙන් බබලන භාග්‍යවතුන් වහන්සේ දුරදීම දැක පහන් වූ සිතැත්තේ අඳුන්දිවි සම ඒකාංශකොට ඇඳිලිබැඳ වැඳ සිටියේම දසනිය එක්කොට ගත් ඇඳිලි හිසමත තබා නොයෙක් උපමාවන්ගෙන් නොයෙක් ස්තුති වචනයන්ගෙන් භාග්‍යවතුන් වහන්සේට ස්තුති කළේය. ඒ අසා භාග්‍යවතුන් වහන්සේ ‘මේ තවුසා අනාගතයෙහි ගෞතම නම් ශාස්තෲන් වහන්සේගේ සසුනෙහි පැවිදිව විනයෙහි තියුණු නැණ ඇත්තවුන්ට අග්‍ර වන්නේයයි විවරණ දුන් සේක. ඔහු දිවිඇති තාක් සිට නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ බ්‍රහ්ම ලෝකයෙහි උපන්නේ, එයින් චුතව දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කපිලවස්තු නගරයෙහි උපාලි තෙරුන් වහන්සේගේ බෑණනුවන් වී උපන්නේය. ඔහු ක්‍රමයෙන් වැඩිවියපත් වූයේ මාමා වූ උපාලි තෙරුන් වහන්සේ සමීපයෙහි පැවිදිව, කමටහන් ගෙන විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත් විය. උන්වහන්සේ ආචාර්යයන් සමීපයෙහි විසූ බැවින් විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇත්තෝ වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර විනය ප්‍රශ්නයෙහි තියුණු නැණ ඇති යමෙක් වේද ඒ බෑණනු උපාලිය’යි උන්වහන්සේ අගතන්හි තැබූ සේක.