4. කුණ්ඩධාන වර්‍ගය
31. කුණ්ඩධාන ථේර අපදාන වර්ණනාව
සත්තාහං පටිසල්ලීනං යනාදි වශයෙන් ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ කියන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ප්‍රථමයෙන් සලාකය ගන්නවුන් අතර අගතන්හි තබනු ලබන්නාහු දැක ඒ තනතුර ප්‍රාර්ථනා කොට එයට අනුරූප වූ පින් කරන්නේ හැසිරුණේය. ඔහු එක් දවසක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගීහුන් කල්හි රත්සිරියෙල් වැනි රතු රන්වන් පැහැ ඇති, මහත් වූ කෙසෙල්ගෙඩි ඇවරියක් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. ඔහු ඒ පින්කමින් එකොළොස්වරක් දෙවියන් අතර දේවරාජ තනතුර දැරීය. විසිසතර වරක් සක්විති රජ විය.
මෙසේ ඔහු වරින්වර පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි දේවතාවෙක්ව උපන්හ. දීර්ඝායුෂ ඇති බුදුවරුන් අර්ධමාසිකව කෙරෙන උපෝසථය කරනු නොලැබේ. එසේම විපස්සී භාග්‍යවතුන් වහන්සේට සයවසක් ඉක්මගිය කල්හි උපෝසථය විය. කාශ්‍යප දශබලයන් වහන්සේ මාස සයෙන් සයෙන් ප්‍රාතිමෝක්‍ෂය අවසාරණය කළ සේක. උන්වහන්සේ ප්‍රාතිමෝක්‍ෂය අවසාරණය කරන කල්හි දිසාවැසි යහළු භික්‍ෂු දෙනමක් උපෝසථය කරන්නෙමුයි යති. ඔවුන් දැක මේ භූමාටු දෙවියා මෙසේ සිතීය. මේ භික්‍ෂූන් දෙදෙනාගේ මිත්‍රත්වය අතිශයින් දැඩිය. භේදවීමට හේතුවක් ඇතිකල්හි භේදවීමේ ඇති වරද කිම? ඇය ඔවුන්ගේ අවකාශයක් බලන්නී ඔවුන්ගේම නුදුරින්ම යයි.
ඉක්බිති එක් තෙරනමක් අනික් තෙරනමගේ අතට පාසිවුරු දී සිරුර පහසු කරගැනීමේ අදහසින් පැන් පහසු තැනකට ගොස් සෝදාගත් අත්පා ඇත්තේ වනලැහැබෙහි පැත්තකින් නික්මෙයි. භූමාටු දෙවියා ඒ තෙරනමගේ පසුපස යන්නී උතුම් රූ ඇති ස්ත්‍රියක් ව හිසකෙස් ලිහා එක්තැන්කොට බැඳ ගන්නී මෙන් ද පිට පස් පිසදමන්නී මෙන් සළුව එක්කොට හැඳගන්නී මෙන් ද වී තෙරනමගේ පසුපසින් ලැහැබින් නික්මුණාය. එකත්පසෙක සිටි සහායක තෙරනම එය දැකම දොම්නස් ඇත්තේ, මේ භික්‍ෂුව සමග බොහෝකලක් පැවති ස්නේහය දැන් නැසුණේය. මා මෙබඳු දෙයක් දන්නෙම් නම්, මෙපමණ කලක් මොහු සමග විශ්වාසය නොතබන්නෙමි යයි සිතා, ඔහු එද්දීම ‘ආයුෂ්මත්නි, ගන්න ඔබගේ පාසිවුරු, තා වැනි පාපියකු සමග එකමග නොයමි’යි කීය. ඒ අසා ඒ ලජ්ජී භික්‍ෂුවගේ හදවත තියුණු අවියක් ගෙන විද්දාක් මෙන් විය. ඉන්පසු මෙසේ කීය. ‘ඔබ කුමක් කියයිද, මම මෙතෙක් කලක් දුෂ්කෘතාපත්තියකට වත් පැමිණි බවක් නොදනිමි. අද මා පාපියෙකැයි කියන්නේ කුමක් නිසාද? ඔබ දුටුවේ කුමක්ද? අන් කිසිවක් නොදැක්කෙමි. මෙබඳු අලංකාරව සැරසුණු ගැහැණියක සමග එක්තැන සිට නික්මුණේ කිම? ‘ඇවැත්නි, එය මගේ නොවේ. මම මෙබඳු ගැහැණියක නොබලමි. තෙවරක්ම කියද්දීත් අනික් තෙරනම කථාව නොඅදහා තමා දුටු කරුණම අදහන්නේ ඔහු සමග එක්මග නොගොස් අන් මගකින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගියයෙ. අනිත් භික්‍ෂුවද වෙනත් මගකින් ශාස්තෲන් වහන්සේ සමීපයට ගියේය.