35. මෝඝරාජ ථේර අපදාන වර්ණනාව
අත්‍ථදස්සි තු භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පැමිණියේ එක් දවසක් ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් රළුසිවුරු දරන්නන් අතර අගතැන්හි තබනු දැක ඒ තනතුර අපේක්‍ෂා කරන්නේ ප්‍රාර්ථනාවක් කොට භවයෙහි තැනින් තැන පින් කරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහිම නැවත බමුණු කුලයක ඉපිද බමුණන්ගේ විද්‍යා ශිල්පයන්හි පරතෙරට ගියේ එක්දවස් අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂු සංඝයා පිරිවරා වීදියෙහි යනු දැක පහන් සිත් ඇත්තේ පසඟ පිහිටුවා වැඳ හිසෙහි ඇඳිලි බැඳ ‘යාවතා රූපිනො සත්තා’ යනාදී ගාථා සයකින් ප්‍රශංසා කොට බඳුන පුරවා මීපැණි පිරිනැමීය. ශාස්තෲන් වහන්සේ එය පිළිගෙන අනුමෝදනා කළ සේක. ඔහු ඒ පුණ්‍යකර්මයෙන් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කාෂ්ටවාහන නම් රජුගේ අමාත්‍යයකුව උපන්නේ, ඔහු විසින් ශාස්තෲන් වහන්සේ වඩමවාගෙන එනු පිණිස යවන ලද්දේ ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් දහම් අසා ලද සැදැහැ ඇත්තේ පැවිදිව විසිදහසක් අවුරුදු මහණදම් පුරා එයින් චුතව එක් බුද්ධාන්තරයක් සුගතීන්හිම පරිවර්තනය වන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි බමුණු කුලයෙහි ඉපිද මොඝරාජ යයි ලැබූ නම් ඇත්තේ, පාවාරිය බමුණාගේ සමීපයෙහි උගත් ශිල්ප ඇත්තේ, සංවේගයට පත්වූයේ, තවුස් පැවිද්දෙන් පැවිදිව තවුසන් දහසක් පිරිවරකොට ඇත්තේ අජිත ආදීන් සමග ශාස්තෲන් වහන්සේ සමීපයට යවන ලද්දේ ඔවුන්ගේ පහළොස් වෙනියාව රහත් බවට පත්ව වස්ත්‍රයෙන් රළු, මැස්මෙන් රළු වර්ණයෙන් රළු යන විශේෂත්වයක් ඇති ත්‍රිවිධාකාර රළු බවින් යුතු පාංශුකූලය දැරීය. ඒ නිසා ශාස්තෲන් වහන්සේ ඔහු රළුසිවුරු දරන්නවුන් අතර අගතැන්හි තැබූ සේක.
මෙසේ ඔහු ප්‍රාර්ථනාකූලව රහත් ඵලයට පත්ව තමාගේ පෙර කළ දේ දැක පූර්වකර්ම අපදානය ප්‍රකාශ කරන්නේ ‘අත්‍ථදස්සිතු භගවා’ යනාදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේමය.
පුටකං පූරයිත්‍වා පුටක යනු බඳුන හෝ කළය හෝ යයි කියනු ලැබේ. අනෙලකං දොසක් නැති. මැසි බිජු නැති නොවැදගත් මීපැණියෙන් කළය පුරවා එය දෑතින් අල්ලා ගෞරවාදරයෙන් ගෙන මහේසී භාග්‍යවතුන් වහන්සේට පිරිනැමීය යනු සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
මොඝරාජ තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
36. අධිමුත්ත ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්‍ථදස්සි ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි එක් කුලගෙයක උපන්නේ තෙරුවන්හි පැහැදුණේ භික්‍ෂු සංඝයාට ආරාධනාකොට උක්ගසින් මණ්ඩපයක් කොට මහාදානයක් පවත්වා අවසන්හි නිර්වාණය ප්‍රාර්ථනා කළේය. ඔහු එයින් චුතව දෙවිමිනිසුන් අතර උභයසම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදී ශ්‍රද්ධාවෙන් පැවිදි වූ බැවින් අධිමුත්ත තෙරුන්වහන්සේ යයි ප්‍රකට වූයේ විය.
මෙසේ කරන ලද දේ වශයෙන් රහත්බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
37. ලසුණදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලසුණදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගිහිගෙයි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත ඇසුරුකොට වනයෙහි වසන්නාහු බොහෝ සුදුලූණු වවා එම වනමුල් ගෙඩිද අනුභව කරන්නාහු වාසය කළහ. ඔහු බොහෝ සුදුලූණු කදින් ගෙන මිනිස් පියසට ගෙනවුත් පහන් සිතින් දන් දී බුදුපාමොක් භික්‍ෂු සංඝයාට බෙහෙත් පිණිස දී යයි. මෙසේ ඔහු දිවි ඇති තෙක් පින්කොට ඒ පින් බෙලෙන්ම දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ, උභය සම්පත්තීන් අනුභවකොට ක්‍රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි උපන්නේ ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියේ පූර්වකර්ම වශයෙන් ලසුණදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට වූයේ,