36. අධිමුත්ත ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොක නාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ අත්ථදස්සි ලෝකනාථයන් වහන්සේ පිරිනිවි කල්හි එක් කුලගෙයක උපන්නේ තෙරුවන්හි පැහැදුණේ භික්ෂු සංඝයාට ආරාධනාකොට උක්ගසින් මණ්ඩපයක් කොට මහාදානයක් පවත්වා අවසන්හි නිර්වාණය ප්රාර්ථනා කළේය. ඔහු එයින් චුතව දෙවිමිනිසුන් අතර උභයසම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදී ශ්රද්ධාවෙන් පැවිදි වූ බැවින් අධිමුත්ත තෙරුන්වහන්සේ යයි ප්රකට වූයේ විය.
මෙසේ කරන ලද දේ වශයෙන් රහත්බවට පත්ව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. ඒ සියල්ල නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
අධිමුත්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
37. ලසුණදායක ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙ යනාදි වශයෙන් ආයුෂ්මත් ලසුණදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු විපස්සී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්ව ගිහිගෙයි ආදීනව දැක ගිහිගෙය අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදිව හිමවත ඇසුරුකොට වනයෙහි වසන්නාහු බොහෝ සුදුලූණු වවා එම වනමුල් ගෙඩිද අනුභව කරන්නාහු වාසය කළහ. ඔහු බොහෝ සුදුලූණු කදින් ගෙන මිනිස් පියසට ගෙනවුත් පහන් සිතින් දන් දී බුදුපාමොක් භික්ෂු සංඝයාට බෙහෙත් පිණිස දී යයි. මෙසේ ඔහු දිවි ඇති තෙක් පින්කොට ඒ පින් බෙලෙන්ම දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ, උභය සම්පත්තීන් අනුභවකොට ක්රමයෙන් මෙම බුද්ධෝත්පාද කාලයෙහි උපන්නේ ලැබූ ශ්රද්ධා ඇත්තේ පැවිදිව විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත්බවට පැමිණියේ පූර්වකර්ම වශයෙන් ලසුණදායක තෙරුන් වහන්සේයයි ප්රකට වූයේ,
තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ හිමවන්තස්සාවිදුරෙ යනාදිය කීය. එහි හිමාලය පර්වතය කෙළවර මිනිසුන් හැසිරෙන තන්හි යම්කලෙක විපස්සි භාග්යවතුන් වහන්සේ උපන්සේක්ද එකල්හි මම තවුසෙක් වීමි යනු සම්බන්ධයි. ලසුණං උපජීවාමි යනු සුදුලූණු වවා එයම ආහාරයට ගෙන ජීවිතය ගෙනයමියි අර්ථයි. එසේ හෙයින් කියන ලදි ලසුණං මය්හං භොජනං.
බාරියො පූරයිත්වාන යනු තාපසයන්ගේ බඳුන් සුදුලූණුවලින් පුරවා කදින් ගෙන සඞ්ඝාරාමං සංඝයා වසන තැන. හේමන්ත ආදී තුන්කල්හි සංඝයා සිව් ඉරියව්වෙන් වාසය කරන විහාරයට අගඤ්ජිං ගියෙමි යනු අර්ථයි.
විපස්සිස්ස -පෙ- නිරතස්සහං යනු නරයන්ට අග්ර වූ ශ්රේෂ්ඨ වූ විපස්සි භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි මම නිරත වීමි යන සම්බන්ධයි. සඞ්ඝස්ස ලසුණං දත්වා කප්පං සග්ගම්හි මොදහං යනු මම සංඝයාට ලුණු දන් දී සග්ගම්හි මනා අගයක් ඇති දෙව්ලොව ආයු කල්පයක් දිවසැපත් අනුභව කරමින් මොදිං සතුටුවූයේ වෙමි යි අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
ලසුණදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
38. ආයාගදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතො ලොකනාථම්හි ආදී වශයෙන් ආයුෂ්මත් ආයාගදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ සිඛී භාග්යවතුන් වහන්සේ පිරිනිවිකල්හි එක් කුලගෙයක උපන්නේ සසුනෙහි පැහැදුණේ වඩුවන්ට මුදල් දී අතිමනෝහර දික් බොජුන්හලක් කරවා භික්ෂු සංඝයාට ආරාධනාකොට ප්රණීත ආහාරයෙන් වළඳවා මහදන් දී සිත පැහැදවීය. ඔහු දිවි ඇති තෙක් පින්කොට දෙවි මිනිසුන් අතරම සැරිසරන්නේ උභයසම්පත්තීන් අනුභවකොට මෙම බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ ලද සැදැහැ ඇත්තේ පැවිදිව උත්සාහ කරන්නේ වෑයම් කරන්නේ විදර්ශනා වඩා නොබෝ කලෙකින්ම රහත් බවට පත්විය. පෙර කරන ලද පුණ්ය වශයෙන් ආයාග තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
මෙසේ ඔහු කරන ලද පුණ්යසම්භාර වශයෙන් රහත් බවට පත්ව තමා විසින් පෙර කරන ලද කුසල කර්මය සිහිකොට සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි ආදිය කීය. එහි වදතං අපි බුදුවරුයයි කියන්නවුන් අතරෙහි, වරෙ උත්තම වූ සිඛී භාග්යවතුන් වහන්සේ පිරිනිවි කල්හි යන අර්ථයි. හට්ඨො හට්ඨෙන චිත්තෙන යනු ශ්රද්ධාව නිසා තුටුපහටු වූයේ සොම්නස් සහිත සිත් ඇති බැවින් පහටු වූ සිතින්. උත්තමං ථූපං ශ්රේෂ්ඨ චෛත්යය. අවන්දිං වැන්දෙමියි අර්ථයි.