34. කාළුදායි ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කාලුදායී තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් කුල පහදවන භික්‍ෂූන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක එබඳු උතුම් ප්‍රාර්ථනාවක් කොට ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.
හේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ මවගේ කුසෙහි පිළිසිඳගන්නා දවසෙහි, ඔහුද කපිලවස්තු නගරයෙහි ම ඇමතියකුගේ ගෙහි පිළිසිඳ ගත්තේය. බෝධිසත්ත්වයන් වහන්සේ සමගම එක් දිනයෙහිම උපන්නේ විය. එදවස ම ඔහු දුහුල් සුඹුළුවෙක හොවා බෝධිසත්ත්වයන් වහන්සේ ළඟට ගෙන ආහ. බෝධිසත්ත්වයන් වහන්සේ සමග බෝරුක, රාහුල මාතාව, සතරමහා නිධාන, කන්ථක, ආනන්ද, ඡන්න, කාලුදායි යන මේ සත එක් දවසෙක උපන් බැවින් සහජාත නම් වූහ. ඉක්බිති ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි ඔදවැඩුණු සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායී යනුවෙන්ම නමක් තැබූහ. මදක් කාලවර්ණ ස්වභාවය ඇති බැවින් කාලුදායී යනුවෙන් දන්නා ලද්දේ විය. ඔහු බෝධිසත්ත්වයන් සමග කුමර කෙළි කෙළින්නේ වැඩිවිය පත්විය.
පසුකලෙක ලෝකනාථයන් වහන්සේ මහබිනික්මන් නික්ම අනුක්‍රමයෙන් සර්වඥ තත්ත්වයට පත්ව පවත්වන ලද උතුම් දම්සක් ඇත්තේ රජගහනුවර නිසා වේළුවනාරාමයෙහි වාසය කරන සේක්, සුදොවුන් මහරජ ඒ පුවත අසා පුරුෂයන් දහසක් පිරිවර ඇති එක් ඇමතියකු පුත්‍රයා මෙහි ගෙනෙවයි යැවීය. ඔහු ධර්මදේශනා වේලාවෙහි ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස් පිරිස් කෙළවර සිටියේ ධර්මය අසා පිරිවර සහිතව රහත්බවට පත්විය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එවූ මහණෙනියි ඔවුන්ට අත දිගුකළ සේක. සියලුදෙන එකෙණෙහිම සෘද්ධිමය පාසිවුරු ධරව සියවස් පිරුණු තෙරුන් මෙන් වූහ. රහත් බවට පත්වූ තැන් පටන් ආර්යයෝ මධ්‍යස්ථයෝම වෙති. ඒ නිසා රජු විසින් එවන ලද ඒ හසුන දසබලධාරීන් වහන්සේට නොකීහ. රජ තෙමේ ‘ගියකෙනා එන්නේද නැත. හසුනක් අසන්නටද නැතැ’යි වෙනත් ඇමතියකු පුරුෂයන් දහසක් සමග යැවීය. එහිදී ද ඒ අයුරින්ම සිදුවූ කල තවත් ඇමතියකු යැවීය. මෙසේ පුරුෂයන් අනූදහසක් සමග ඇමතියන් නව දෙනකු යැවීය. සියලුදෙන රහත්බවට පත්ව නිහඬ වූහ.
ඉක්බිති රජතෙමේ මෙසේ සිතීය. මෙපමණ ජනයෝ මා කෙරෙහි සෙනේ නැති බැවින් දසබලධාරීන් වහන්සේ මෙහි වැඩමවාගෙන ඒම පිණිස කිසිවක් නොකීහ. මේ උදායී දශබලධාරීන් වහන්සේ සමග සමවයස් ඇත්තේය. වැලිකෙළියේ එකට යෙදුණේය. මා කෙරෙහි සෙනෙහ ඇත්තේද වෙයි. මොහු යවන්නෙමියි ඔහු කැඳවා ‘දරුව, නුඹ පුරුෂයන් දහසක් පිරිවර ඇතිව රජගහ නුවරට ගොස් දශබලයන් වහන්සේ මෙහි වඩමවාගෙන එව’යි කියා යැවීය. හෙතෙමේ ‘දේවයන් වහන්ස, යම් හෙයකින් මට පැවිදි වන්නට ලැබේනම් පමණක් භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩමාගෙන එන්නෙමි’යි කියා ‘යම්කිසි දෙයක් කොට මාගේ පුත්‍රයා දක්වව’යි කී කල්හි රජගහනුවරට ගොස් ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනා වේලාවෙහි පිරිස් කෙළවර සිටියේ දහම් අසා පිරිවර සහිතව රහත්බවට පත්වී ඒහිභික්ඛුභාවයෙන් උපසම්පදාව ලැබීය. රහත්බවට පත්ව තවමත් දශබලධාරීන් වහන්සේ කුල නුවරට වැඩමවීමට කල් නොවේ. වසන්තය පැමිණි කල වන ලැහැබ් මලින් බරවූ කල බිම නිල් තණපතින් ගැවසුණු කල වැඩමවීමට කාලය වන්නේ යයි කල් බලන්නේ වසන්තය උදාවූ කල ශාස්තෲන් වහන්සේ කුලනුවරට වැඩමවීමට ගමන්මග වරුණ මැනවින් වර්ණනා කරන්නේ;
අංගාරිනො දානි දුමා භදන්තෙ, ඵලෙසිනො ඡදනං විප්පහාය,
තෙ අච්චිමන්තොව පභාසයන්තී, සමයො මහාවීර භගීරසානං
හිමියනි මෙවිට රුක් හිස් සහළඟුරු වගේ
පරඬැල් සලා පල දැරුමට ළඟයි වගේ
ඒ රුක් පහන්සිළු මෙන් බබලමින් නැගේ
සැකිකුලවුන්ට අත දෙත මේ කලැයි හැඟේ
දුමානි ඵුප්ඵානි මනොරමානී, සමන්තතො සබ්බදිසා පවන්තී,
පත්තම්පහාය ඵලමාසසානා, කාලො ඉතො නික්ඛමනාය වීර
විරුවනි එරුක් මල් බරවී මනහරය
සුවඳින් පුරාලයි සැමදෙස පරිසරය
පලබරවනුව සැරසෙයි පරඬැල් හැරය
මෙතැනින් නික්මෙන්ට දැන් කාලය හරිය
නෙවාති සීතං නපනාති උණ්හං, සුඛාඋ අද්ධනියා භදන්තෙ,
පස්සන්තු තං සාකියා කොළියාච, පච්ඡාමුඛං රෝහිණිං තාරයන්තං