33. මහාකාත්‍යායන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර නාමස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කච්චායන තෙරුන් වහන්සේගේ චරිතාපදානයයි. මොහු ද පෙරබුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාල කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණියේ එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් සංක්‍ෂේපයෙන් කියන ලද දෙය විස්තර වශයෙන් අර්ථය බෙදා විස්තර කරන්නවුන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක තමා ද එම තනතුර ප්‍රාර්ථනා කරන්නේ දන් ආදී පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විද්‍යාධරයෙක් ව අහසින් යන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේ එක් වනලැහැබෙක හිඳනු දැක පහන්සිත් ඇත්තේ කිණිහිරි මලින් පුදා ගියේය.
ඔහු ඒ පින්කමින් කලින් කල සුගතීන්හි පමණක් ඉපදී කාශ්‍යප දශබලධාරීන් වහන්සේගේ කාලයෙහි බරණැස්නුවර කුලගෙයක ඉපිද භාග්‍යවතුන් වහන්සේ පිරිනිවිකල්හි ස්වර්ණ චෛත්‍යය කරන ස්ථානයට දසදහසක් වටිනා රන් ගඩොලින් පූජාකොට මේ පින්කමෙහි විපාක වශයෙන් උපනුපන් තැන මාගේ ශරීරය රන්වන් වේවායි ප්‍රාර්ථනයක් කළේය. ඉන්පසු දිවි ඇතිතාක් කුසල්කොට එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි උදේනී නුවර චණ්ඩ ප්‍රද්‍යෝත රජුගේ පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි මව්පියෝ අපගේ පුත්‍රයා රන්වන්වම තමාගේ නම ගෙන පැමිණියේ වනැයි කාංචනමානව යයි ඔහුට නම් තැබූහ. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය ඉගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. ගෝත්‍ර වශයෙන් කච්චායන යයි දන්නා ලද්දේය.
චණ්ඩ ප්‍රද්‍යෝත රජතුමා බුදුන් උපන් බව අසා ආචාර්යය, ඔබ එහි ගොස් ශාස්තෲන් වහන්සේ මෙහි වඩමවාගෙන එන්නැයි යැවීය. තමා අටවැනිව ශාස්තෲන් වහන්සේ සමීපයට එළැඹියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දම්දෙසූ සේක. දේශනාව කෙළවර ඔහු පිරිවර සත්දෙන සමග පිළිසිඹියා සහිතව රහත්බවෙහි පිහිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එව මහණැයි අත දිගුකළ සේක. ඔවුහු එකෙණෙහි දෑඟුලක් පමණ වූ කෙස් රවුල් ඇත්තාහු, සෘද්ධිමය පාසිවුරුධරව සැටවස් ඇති තෙරවරුන් මෙන් වූහ. මෙසේ තෙරුන්වහන්සේ උතුම් අර්ථය නිෂ්පාදනය කොට ‘ස්වාමීනි, ප්‍රද්‍යෝත රජ තෙමේ ඔබවහන්සේගේ පා වැන්දේය. ඔහු දහම් ඇසීමට ද කැමැත්තේ යයි ශාස්තෲන් වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂුව ඔබම එහි යන්න. රජ ප්‍රසාදයට පත්වන්නේ යයි කී සේක. තෙරුන් වහන්සේ තමන් අටවැනිව එහි ගොස් රජ පහදවා අවන්ති ජනපදයෙහි සසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේ සමීපයටම ගියහ.
මෙසේ උන්වහන්සේ පැමිණි රහත්ඵල ඇත්තාහු ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් සංක්‍ෂේපයෙන් කියූ දෙය විස්තර වශයෙන් අර්ථ විභජනය කළ හැක්කේද. ඒ කච්චායන යයි අගතන්හි තබන ලද්දේ තමාගේ පූර්ව කර්මය සිහිකොට පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස නාථස්ස ආදිය කීය. එහි පදුමං නාම චෙතියං යනු පද්මයන්ගෙන් වසනු ලැබූ නිසා හෝ පද්මාකාරයෙන් කරන ලද බැවින් හෝ භාග්‍යවතුන් වහන්සේ වාසය කරන ගන්ධකුටි විහාරය ද පූජනීය බැවින් චෛත්‍ය වේ. යම්සේ ගෞතමක චෛත්‍යය, ආලවක චෛත්‍යයයි කියූකල්හි ඒවා යක්‍ෂයන්ගේ නිවාසස්ථාන පූජනීය ස්ථාන වූ බැවින් චෛත්‍යය යයි කියනු ලැබේ. මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේගේ වසන ස්ථානය චෛත්‍යයයි කියනු ලැබේ. ධාතු නිදන් නොකරන ලද චෛත්‍යයක් යයි දතයුතුය. පිරිනිවන් නොපෑ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූන් නොමැති බැවින් ධාතු චෛත්‍යයක් නොකළේය යනුයි. සිලාසනං කාරයිත්‍වා යනු ඒ පදුම නම් ඇති ගඳකිළියෙහි පුෂ්පාධාරත්‍රයට යටින් පළිඟු මුවා ශෛලාසනයක් කරවා. සුවණ්ණෙනාභි ලෙපයිං යනු ඒ ශෛලාසනය දඹරන් පැහැයෙන් ආලේප කළෙමි. අති විශේෂයෙන් මල් අසුනට යන අර්ථයි.
රතනාමයං සත්රුවනින් කරන ලද ඡත්‍රය අල්ලාගෙන හිස්මුදුනෙහි දරා වල් විදුනාවක් උතුම් වූ සුදු සෙමෙර වලිගයක්ද අල්ලාගෙන බුදුරජාණන් වහන්සේට එසවූයෙමි. ලොක ජෙට්ඨස්ස තාදිනො යනු සකල ලෝකයට ඥාතියකු බඳු තාදී ගුණ යුත් බුදුරජාණන් වහන්සේට දරා සිටියෙමියි අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
මහාකච්චායන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
34. කාළුදායි ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කාලුදායී තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ ශාස්තෲන් වහන්සේගේ ධර්මදේශනාව අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් කුල පහදවන භික්‍ෂූන් අතර අගතන්හි තබනු ලබන එක් භික්‍ෂුවක දැක එබඳු උතුම් ප්‍රාර්ථනාවක් කොට ඒ තනතුර ප්‍රාර්ථනා කළේය.
හේ දිවි ඇතිතෙක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ මවගේ කුසෙහි පිළිසිඳගන්නා දවසෙහි, ඔහුද කපිලවස්තු නගරයෙහි ම ඇමතියකුගේ ගෙහි පිළිසිඳ ගත්තේය. බෝධිසත්ත්වයන් වහන්සේ සමගම එක් දිනයෙහිම උපන්නේ විය. එදවස ම ඔහු දුහුල් සුඹුළුවෙක හොවා බෝධිසත්ත්වයන් වහන්සේ ළඟට ගෙන ආහ. බෝධිසත්ත්වයන් වහන්සේ සමග බෝරුක, රාහුල මාතාව, සතරමහා නිධාන, කන්ථක, ආනන්ද, ඡන්න, කාලුදායි යන මේ සත එක් දවසෙක උපන් බැවින් සහජාත නම් වූහ. ඉක්බිති ඔහුට නම් තබන දවසෙහි සියලු නගරයෙහි ඔදවැඩුණු සිත් ඇති දවසෙහි උපන් බැවින් උදායී යනුවෙන්ම නමක් තැබූහ. මදක් කාලවර්ණ ස්වභාවය ඇති බැවින් කාලුදායී යනුවෙන් දන්නා ලද්දේ විය. ඔහු බෝධිසත්ත්වයන් සමග කුමර කෙළි කෙළින්නේ වැඩිවිය පත්විය.