32. සාගත ථේර අපදාන වර්ණනාව
සොභිතො නාම නාමෙන ආදි වශයෙන් ආයුෂ්මත් සාගත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් බමුණු කුලයක උපන්නේ සියලු ශිල්පයන්හි නිෂ්පත්තියට පැමිණියේ නමින් සොභිත නම් ව තුන්වේදයෙහි පරතෙර දුටුවේ නිඝණ්ඩු කේටුභ සාක්ෂර ප්රභේදයන්හි ඉතිහාසය පස්වැනි කොට ඇති පද දත්තේ ව්යාකරණ දත්තේ ලෝකායත මහා පුරුෂ ලක්ෂණයන්හි දක්ෂ විය. ඔහු එක් දවසක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ශ්රීයෙන් ශෝභමානව උයන්දොරින් යන්නා වූ පදුමුත්තර භාග්යවතුන් වහන්සේ දැක අතිශයින් පහන්සිත් ඇත්තේ නොයෙක් උපායෙන් නොයෙක් ගුණ වර්ණනයෙන් ස්තුති කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුගේ ස්තුතිය අසා අනාගතයෙහි ගෞතම භාග්යවතුන් වහන්සේගේ සසුනෙහි සාගත නමින් ශ්රාවකයෙක් වන්නේයයි විවරණයක් දුන් සේක. ඔහු එතැන් පටන් පින් කරන්නේ දිවි ඇති තෙක් සිට එයින් චුතව දෙව්ලොව උපන්නේ කල්ප සියදහසක් දෙවි මිනිසුන් අතර උභය සම්පත්තීන් අනුභවකොට මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලගෙයක ඉපදුණේ ඔහුගේ මව්පියෝ සොම්නස වඩන සුජාත ආවේනුයි සාගත යයි නමක් තැබූහ. ඔහු සසුනෙහි පැහැදී පැවිදිව විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය.
මෙසේ පුණ්ය සම්භාර අනුරූපව පත්වූ රහත්ඵල ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ සොභිතො නාම නාමෙන ආදිය කීය. මෙහි එකල්හි පුණ්ය සම්භාරයන් පුරන කල්හි නමින් සෝභිත නම් බමුණෙක් වීමි යනු සම්බන්ධයි.
විපථා උද්ධරිත්වාන යනු විරුද්ධ මාර්ගයෙන් වැරදි මාර්ගයෙන් උන්මාර්ගයෙන් උද්ධරිත්වා පහව. පථං ආචික්ඛසෙ යනු ස්වාමීනි, සර්වඥතා මාර්ගය සත්පුරුෂ මාර්ගය නිවන් අවබෝධ කිරීමේ උපාය ආචික්ඛසෙ කීය. දේශනා කළේය. විභජනය කළේය. පැහැදිලි කළේය යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
සාගත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
33. මහාකාත්යායන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර නාමස්ස යනාදි වශයෙන් ආයුෂ්මත් කච්චායන තෙරුන් වහන්සේගේ චරිතාපදානයයි. මොහු ද පෙරබුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ගෘහපති මහාසාල කුලගෙයක ඉපිද වැඩිවිය පැමිණියේ එක් දවසක් ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් කියන ලද දෙය විස්තර වශයෙන් අර්ථය බෙදා විස්තර කරන්නවුන් අතර අගතන්හි තබනු ලබන එක් භික්ෂුවක දැක තමා ද එම තනතුර ප්රාර්ථනා කරන්නේ දන් ආදී පින්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි විද්යාධරයෙක් ව අහසින් යන්නේ සුමේධ භාග්යවතුන් වහන්සේ එක් වනලැහැබෙක හිඳනු දැක පහන්සිත් ඇත්තේ කිණිහිරි මලින් පුදා ගියේය.
ඔහු ඒ පින්කමින් කලින් කල සුගතීන්හි පමණක් ඉපදී කාශ්යප දශබලධාරීන් වහන්සේගේ කාලයෙහි බරණැස්නුවර කුලගෙයක ඉපිද භාග්යවතුන් වහන්සේ පිරිනිවිකල්හි ස්වර්ණ චෛත්යය කරන ස්ථානයට දසදහසක් වටිනා රන් ගඩොලින් පූජාකොට මේ පින්කමෙහි විපාක වශයෙන් උපනුපන් තැන මාගේ ශරීරය රන්වන් වේවායි ප්රාර්ථනයක් කළේය. ඉන්පසු දිවි ඇතිතාක් කුසල්කොට එක් බුද්ධාන්තරයක් දෙවි මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධෝත්පාද කාලයෙහි උදේනී නුවර චණ්ඩ ප්රද්යෝත රජුගේ පුරෝහිතයාගේ ගෙහි උපන්නේය. ඔහුට නම් තබන දිනයෙහි මව්පියෝ අපගේ පුත්රයා රන්වන්වම තමාගේ නම ගෙන පැමිණියේ වනැයි කාංචනමානව යයි ඔහුට නම් තැබූහ. ඔහු වැඩිවිය පත්ව තුන්වේදය ඉගෙන පියාගේ ඇවෑමෙන් පුරෝහිත තනතුර ලැබීය. ගෝත්ර වශයෙන් කච්චායන යයි දන්නා ලද්දේය.
චණ්ඩ ප්රද්යෝත රජතුමා බුදුන් උපන් බව අසා ආචාර්යය, ඔබ එහි ගොස් ශාස්තෲන් වහන්සේ මෙහි වඩමවාගෙන එන්නැයි යැවීය. තමා අටවැනිව ශාස්තෲන් වහන්සේ සමීපයට එළැඹියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට දම්දෙසූ සේක. දේශනාව කෙළවර ඔහු පිරිවර සත්දෙන සමග පිළිසිඹියා සහිතව රහත්බවෙහි පිහිටියේය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ එව මහණැයි අත දිගුකළ සේක. ඔවුහු එකෙණෙහි දෑඟුලක් පමණ වූ කෙස් රවුල් ඇත්තාහු, සෘද්ධිමය පාසිවුරුධරව සැටවස් ඇති තෙරවරුන් මෙන් වූහ. මෙසේ තෙරුන්වහන්සේ උතුම් අර්ථය නිෂ්පාදනය කොට ‘ස්වාමීනි, ප්රද්යෝත රජ තෙමේ ඔබවහන්සේගේ පා වැන්දේය. ඔහු දහම් ඇසීමට ද කැමැත්තේ යයි ශාස්තෲන් වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ භික්ෂුව ඔබම එහි යන්න. රජ ප්රසාදයට පත්වන්නේ යයි කී සේක. තෙරුන් වහන්සේ තමන් අටවැනිව එහි ගොස් රජ පහදවා අවන්ති ජනපදයෙහි සසුන පිහිටුවා නැවත ශාස්තෲන් වහන්සේ සමීපයටම ගියහ.