28. උත්තරිය ථේර අපදාන වර්ණනාව
චන්‍දභාගා නදීතීරේ යනාදි වශයෙන් ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි චන්‍ද්‍රභාගා නදියෙහි කිඹුලෙක්ව උපන්නේ නදීතෙරට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ එතෙරට ගෙනයනු කැමැත්තේ ගංතෙර සමීපයෙහි වැදහොත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිටමක පා තැබූ සේක. ඌ සතුටුවූයේ ඔදවැඩියේ ප්‍රීති වේගයෙන් අතිශයින් උත්සාහවත්ව දියපහර බිඳගෙන මහත් ජවයෙන් භාග්‍යවතුන් වහන්සේ එතෙරට ඇරලීය. භාග්‍යවතුන් වහන්සේ උගේ චිත්තප්‍රසාදය දැන මූ මෙයින් චුතව දෙව්ලොව උපදින්නේය. එතැන් පටන් සුගතීන්හිම සැරිසරන්නේ මෙයින් අනූහතර වැනි කල්පයෙහි නිවනට පැමිණෙන්නේයයි ප්‍රකාශකොට වැඩි සේක.
ඌ එසේ සුගතීන්හි පමණක් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා බමුණකුගේ පුත්‍රයෙක් ව උපන්නේ ය. ඔහුට උත්තිය යයි නමක් තැබූහ. ඔහු වැඩිවියට පත්ව නිවන් සොයන්නෙමියි පරිබ්‍රාජකයෙක්ව එක් දවසක් භාග්‍යවතුන් වහන්සේ දැක එළඹ දහම් අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව ශීල දෘෂ්ටීන් පිරිසිදු නැති බැවින් විශේෂයක් නිපදවා ගන්නට නොහැකි වන්නේ වෙනත් භික්‍ෂුවක් විශේෂයක් නිපදවාගෙන අනෙකකුට ප්‍රකාශ කරනු දැක ශාස්තෲන් වහන්සේ කරා එළඹ සංක්‍ෂේපයෙන් අවවාද ඉල්ලා සිටියේය. ශාස්තෲන් වහන්සේද ‘ඒ නිසා උත්තිය, මෙහිදී පළමුවෙන්ම සීලය පිරිසිදු කරව’යි ආදි වශයෙන් සංක්‍ෂේපයෙන්ම අවවාද දුන් සේක. උන්වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අවවාදයෙහි සිට විදර්ශනාව ඇරඹූහ. ඇරඹූ විදර්ශනා ඇති උන්වහන්සේට ආබාධයක් හටගැනිණ. ආබාධය ඇතිවූ විට උපන් සංවේග ඇත්තාහු වීර්ය ආරම්භ කිරීමට ඇති කරුණ දැන විදර්ශනා වඩා රහත්බවට පැමිණියහ.
මෙසේ ඔහු කරන ලද කුසල සම්භාර අනුරූපව පැමිණි රහත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නාහු චන්‍දභාගා නදීතීරෙ යනාදිය කීය. එහි චන්‍දභාගා නදීතීරෙ යනු පිරිසිදු සුදු වැලිතලාවන්ගෙන් ද ප්‍රභා සම්පන්න මිහිරි ජලයෙන් ද පිරිපුන් බව නිසා සහ චන්ද්‍රප්‍රභා කිරණින් සශ්‍රීක ආලෝකයක් මෙන් නදමානා ශබ්ද නගමින් යති යි චන්‍දභාගා නදී නමි. ඒ චන්‍ද්‍රභාගා නදී තෙර කිඹුලෙක් වීමි යි සම්බන්ධයි. එහි සුංසුමාරො යනු කුඩා මාළු අයින් කඩකඩ කරමින් මරතියි සුංසුමාර නම් ද, චණ්ඩ මත්ස්‍යයෙක් ද කිඹුලෙක් ද යන අර්ථයි. සභොජන පසුතාහං යනු මම සභොජනෙ තමාගේ ගොදුරෙහි පසුතො ව්‍යාපෘත වූයේ නදීතිත්‍ථං ආගච්ඡිං යනු භාග්‍යවතුන් සේ පැමිණෙන කාලයෙහි මම ගං තෙරට ආගඤ්ජිං පැමිණියේ වෙමි.
සිද්ධත්‍ථොතම්හි සමයෙ එහි මාගේ තීර්ථයට පැමිණෙන කාලයෙහි සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේ අග්‍ර පුද්ගලයා වූවාහු සියලු සත්ත්වයන් අතර අග්‍ර වූ සේක් ජ්‍යෙෂ්ඨ වූ සේක. සයම්භූ තමා ම වූයේ උපන්නේ බුදුවූයේ ඒ භාග්‍යවතුන් වහන්සේ නදිය තරණය කරනු කැමැත්තාහු නදී තෙරට පැමිණි සේක.
පෙත්තිකං විසයං මය්හං යනු මගේ පියමුතු ආදීන් විසින් පරම්පරාවෙන් ගෙනඑන ලද පැමිණි පැමිණි මහානුභාව ඇත්තවුන්ගේ එතෙර කරවීම යන අර්ථයි.
මම ගජ්ජනං සුත්‍වා යනු මාගේ ගර්ජනය ආරාධනය අසා මහාමුනි භාග්‍යවතුන් වහන්සේ නැගුණු සේක යනු සම්බන්ධයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේ ම ය.
උත්තිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
29. ඒකඤ්ජලික ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං යනාදී වශයෙන් ආයුෂ්මත් එකඤ්ජලකි තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පැමිණියේ තෙරුවන්හි පැහැදුණේ පිඬු පිණිස හැසිරෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇත්තේ ඇඳිලිබැඳ සිටියේය. ඔහු ඒ පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පූජනීයව උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලයක ඉපිද සසුනෙහි පැහැදී පැවිදි ව විදසුන් වඩා රහත්බවෙහි පිහිටියේය. පෙර කරන ලද පින් නිසා එකංජලික තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
ඔහු තමාගේ පින්කම සිහිකොට එය අතැඹුලක් සේ දැක උදාන වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුවණ්ණ වණ්ණං යනාදිය කීය. විපස්සිං සත්තවාහග්ගං යනු වෙළඳුන් කාන්තාරයෙහි ගෙනයතියි තරණය කරවතියි සත්‍ථවාහො නමි. වැලිකතර, සොර කතර, දුබික් කතර, යක් කතර, දුබික් කතර යන කාන්තාරවලින් තරණය කරවයි. එතෙර කරවයි. හොඳින් තරණය කරවයි එගොඩ කරවයි කෙම්බිමට පමුණුවයි යන අර්ථයි. කවරෙක් ඒ වෙළඳ දෙටුවා වේද, සාත්තුවාහකයා හා සමාන බැවින් මේ භාග්‍යවතුන් වහන්සේද සත්‍ථවාහ නම් වෙති. එසේම උන්වහන්සේ ත්‍රිවිධ බෝධිය ප්‍රාර්ථනා කරන සේක් කරන ලද පුණ්‍ය සම්භාරයෙන් සත්ත්වයන් ජාති කාන්තාරය, ජරා කාන්තාරය, මරණ කාන්තාරය, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කාන්තාරයෙන්ද සියලු සංසාර කාන්තාරයෙන්ද තරණය කරවතියි, එතෙර කරවතියි හොඳින් එතෙර කරවතියි එගොඩ කරවතියි නිවන් පලයට පමුණුවතියි යන අර්ථයි. සත්‍ථවාහ වූයේ ද හෙම අග්‍ර ශ්‍රේෂ්ඨ ප්‍රධාන වූයේනුයි සත්‍ථවාහග්ග නමි. ඒ සත්‍ථවාහග්ග වූ විපස්සි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ යනු සම්බන්ධයි. නරවීර විනායකං යනු නරයන් අතර අතිශය ලිහිල් නොවූ පරාක්‍රම ඇත්තේනුයි නරවීර නමි. විශේෂයෙන් කරන ලදපුණ්‍ය සම්භාරයන් ඇති සත්ත්වයන් ගෙන යයි නිවන්පුරට පමුණුවයිනුයි නායක නමි.