3. සුභූති වර්‍ගය
21. සුභූති ථේර අපදාන වර්ණනාව
හිමවන්තස්සාවිදූරෙ ආදි වශයෙන් ආයුෂ්මත් සුභූති තෙරුන් වහන්සේගේ අපදානය යි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ මෙම කල්පයට කල්ප සියදහසකට පෙර පදුමුත්තර භාග්‍යවත් ලෝකනාථයන් වහන්සේ නූපන් කල්හිම හංසවතී නුවර එක්තරා බමුණු මහසල් කුලයෙක එකම පුත්‍රයා වී උපන්නේය. ඔහුට නන්ද මානවක යයි නමක් තැබූහ. ඔහු වැඩිවියපත්ව තුන්වේදය ඉගෙන එහි හරයක් නොදක්නේ තමාගේ පිරිවර වූ සතළිස්සතර දහසක් මානවකයන් සමග පර්වත පාදයෙහි සෘෂි පැවිද්දෙන් පැවිදිව අටසමවත් හා පංච අභිඥා උපදවා ගත්තේය. අතවැසියන්ට ද කමටහන් කියා දුන්නේය. ඔවුහු ද නොබෝ කලෙකින් ධ්‍යානලාභීහු වූහ.
එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද හංසවතී නගරය නිසා වාසය කරන සේක් එක් දවසක් උදෑසන කාලයෙහි ලොව බලන සේක් නන්ද තාපසයාගේ අතවැසියන්ගේ රහත් බවට උපනිශ්‍රය ඇති බව හා නන්ද තාපසයාගේ අංග දෙකකින් යුත් ශ්‍රාවක තනතුරට ඇති ප්‍රාර්ථනාව ද දැක උදෑසනම සිරුර පිළිදැගුම් කොට පෙරවරුයෙහි පාසිවුරු ගෙන අන් කිසිවකු නොඅමතා ඒකචර සිංහයකු මෙන් තාපසයාගේ අතවැසියන් පලවැල සොයා ගියකල්හි මාගේ බුදුබව දනීවායි බලා සිටියදී ම නන්ද තාපසයාගේ අසපුවෙහි අහසින් බැස පොළොවෙහි සිටි සේක. නන්ද තාපසයා බුද්ධානුභාවයත් ලක්‍ෂණයන්ගෙන් පිරිපුන් බවත් දැක ලක්‍ෂණ මන්ත්‍ර සිහිකොට මේ ලකුණින් යුත් පුද්ගලයා නම් ගිහිගෙයි වසන්නේ සක්විති රජ වෙයි. පැවිදි වන්නේ ලෝකයෙහි සර්වඥ බුදුවරයෙක් වෙයි. මේ ආජානේය පුරුෂයා නිසැකයෙන්ම බුදුන්වහන්සේ යයි දැන පෙරගමන් කොට පසඟ පිහිටුවා වැඳ අසුනක් පනවා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන් සේක. තාපසයාද තමාට ගැළපෙන අසුනක් ගෙන එකත්පසෙක හුන්නේය. එකෙණෙහි සතළිස් සතර දහසක් ජටිලයෝ මිහිරි මිහිරි වූ ඕජාවත් වූ පලවැල ගෙන ආචාර්යවරයා සමීපයට පැමිණියාහු බුදුරජාණන් වහන්සේගේද ආචාර්යවරයාගේද හුන් අයුරු බලා ඇසූහ. ‘ආචාර්යයන් වහ්නස, අපි මෙලොව ඔබවහන්සේට වඩා වැඩි කෙනෙකු නැතැයි සිතුවෙමු. මේ පුරුෂයා වනාහි ඔබවහන්සේට වඩා වැඩි කෙනෙකැයි හඟිමු’යි. තාපසයා, ‘දරුවෙනි, ඔබ අඹ ඇටයක් සමග අටසැටදහසක් යොදුන් උස මහාමේරුව සමකිරීමට කැමැත්තහුය, සර්වඥ බුදුවරයකු සමග මා සමාන නොකරවු’ යයි කීය. ඉක්බිති ඒ තාපසයෝ යම්හෙයකින් මොහු පහත් කෙනෙක් වෙත්නම් අපගේ ආචාර්යවරයා මෙබඳු උපමාවක් නොගෙන එනු ඇත. මේ ආජානේය පුරුෂයා මහත් විය යුතුයයි පාමුල වැටී මුදුනින් වැන්දාහුය. ඉක්බිති ආචාර්යවරයා ඔවුන්ට මෙසේ කීය. ‘දරුවෙනි, අපට බුදුවරුන්ට යෝග්‍ය දියයුතු දෙයක් නැත. භාග්‍යවතුන් වහන්සේ ද පිඬු සිඟා වඩනා වේලාවෙහි මෙහි පැමිණි සේක. ඒ නිසා අපි අපගේ පමණට දියයුතු දෙයක් දෙමු. ඔබ විසින් යම් යම් මිහිරි මිහිරි වූ පලවැල්ක ගෙන එන ලද්දේද ඒ ගෙනෙවයි ගෙන්වාගෙන තම අතින්ම දොවා තමාම තථාගතයන් වහන්සේගේ පාත්‍රයෙහි තැබීය. ශාස්තෲන් වහන්සේ පලවැල පිළිගත් කෙණෙහි දේවතාවෝ දිව්‍යඕජස් බැහූහ. තාපසයා ජලය ද තමා ම පෙරා දුන්නේය. ඉන් බොජුන් කිස නිමවා ශාස්තෲන් වහන්සේ හුන් කල සියලු අතවැසියන් කැඳවා ශාස්තෲන් වහන්සේ හමුවෙහි සිහිකටයුතු කථාවක් කරමින් හුන්නේය. ශාස්තෲන් වහන්සේ භික්‍ෂු සංඝයා පැමිණේවායි සිතූ සේක. ශාස්තෲන් වහන්සේගේ සිත දැන දහසක් පමණ රහතන් වහන්සේ පැමිණ ශාස්තෲන් වහන්සේ වැඳ සිටියහ.
ඉක්බිති නන්ද තාපසයා අතවැසියන් ඇමතීය. දරුවෙනි, බුදුරජාණන් වහන්සේ වැඩසිටි අසුනද මිටිය. සියදහසක් ශ්‍රමණයන්ට ආසනයක්වත් නැත. අද ඔබ විසින් භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු සංඝයාට උදාර සත්කාරයක් කරන්ට වටී. පර්වත පාදයෙන් වර්ණගන්ධ සම්පන්න මල් ගෙනෙවු යයි කීය. සෘද්ධි විෂයෙහි අචින්ත්‍ය බව නිසා ඔවුහු මොහොතකින් වර්ණ ගන්ධ සම්පන්න වූ මල් ගෙනවුත් බුදුන් ප්‍රධාන භික්‍ෂු සංඝයාට යොදුනක් පමණ මල් අසුනක් පැනවූහ. අගසව්වන්ට ගවු තුනක්ද සෙසු භික්‍ෂූන්ට අඩයොදුන් ආදී භේදයෙන්ද, නවක සංඝයාට බඹයක් පමණද පැනවූහ. පැනවූ අසුන්වල, නන්ද තාපසයා තථාගතයන් වහන්සේ ඉදිරියෙහි ඇඳිලි බැඳ සිටියේ ‘ස්වාමීනි, බොහෝකලක් අපට හිතසුව පිණිස මේ මල් අසුනට නැග හිඳිනු මැනවැයි කීය. භාග්‍යවතුන් වහන්සේ අසුනෙහි වැඩහුන් සේක. ශාස්තෲන් වහන්සේ මෙසේ වැඩහුන් කල්හි ශාස්තෲන් වහන්සේගේ ආකාරය දැන භික්‍ෂූහු තම තමාට පැමිණි අසුනෙහි හුන්හ. නන්ද තාපසයා මහත් වූ මල් කූඩයක් ගෙන තථාගතයන් වහන්සේට උසුලමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ තාපසයන්ගේ මේ සත්කාරය මහත්ඵල ඇත්තක් වේවායි නිරෝධ සමාපත්තියට සමවන් සේක. ශාස්තෲන් වහන්සේ සමවන් බව දැන භික්‍ෂූහුද සමාපත්තියට සමවන්හ. තථාගතයන් වහන්සේ සතියක් නිරෝධයට සමවැදී හුන් කල්හි අතවැසියෝ පිඬුසිඟා යන වේලාව පැමිණිවිට වනමුල්පල වළඳා සෙසු කල්හි බුදුන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයාට ඇඳිලි බැඳ සිටියහ. නන්ද තාපසයා පිඬුසිඟාවක් නොගොස් මල්කූඩය දරමින්ම සතියක් ප්‍රීති සුඛයෙන්ම දවසැරියේය.
ශාස්තෲන් වහන්සේ නිරෝධයෙන් නැගිට නිකෙලෙස්ව විසීමේ පිළිවෙතින්ද, දානයට සුදුසු අංගයෙන්ද යන අංග දෙකින් යුතු එක් ශ්‍රාවකයකුට සෘෂි ගණයාට මල්අසුන් අනුමෝදනාව කරවයි අණකළ සේක. උන්වහන්සේ සක්විති රජු සමීපයෙන් ලැබූ මහාලාභ ඇති මහා යෝධයකු මෙන් සතුටු සිතැත්තාහු තමාගේ විෂයයෙහි සිට තෙවළා බුදුවදන සම්මර්ශනය කොට අනුමෝදනාව කළ සේක. උන්වහන්සේගේ දේශනාව අවසානයෙහි සියලු සිව්සතළිස් දහසක් ශිෂ්‍යයෝ රහත්බවට පත්වූහ. ශාස්තෲන් වහන්සේ එව මහණෙනියි අත දිගුකළ සේක. එකෙණෙහිම ඔවුන්ගේ කෙස් රැවුල් අතුරුදහන් විය. අටපිරිකර සිරුරෙහි රැඳුණේ විය. ඔවුහු සැටවස් පිරුණු තෙරුන් මෙන් ශාස්තෲන් වහන්සේ පිරිවරා සිටියහ. නන්ද තාපසයා වනාහි වික්‍ෂිප්ත සිත් ඇති බැවින් විශේෂත්වයට නොපැමිණියේය. ඔහුට අරණවිහාරි තෙරුන්වහන්සේගේ ධර්මය ඇසීමට ඇරඹූ තැන් පටන් ‘අහෝ, මමද අනාගතයෙහි එක් බුදුවරයකුගේ සසුනෙහි මේ ශ්‍රාවකයා විසින් ලද ගුණය ලබන්නේ නම් මැනවැයි සිතක් උපන. ඔහු එම විතර්කය නිසා මාර්ගඵල ප්‍රතිවේධය ලැබීමට නොහැකි විය. තථාගතයන් වහන්සේ වැඳ ඇඳිලිබැඳ ඉදිරියෙහි සි මෙසේ කීය. ‘ස්වාමීනි, යම් භික්‍ෂුවක විසින් සෘෂි ගණයාට පුෂ්පානුමෝදනාව කරන ලද්දේද, ඔබවහන්සේගේ සසුනෙහි උන්වහන්සේ කවරනම් ඇත්තාහුද. නික්ලේශීව වාසය කරන බැවින්ද දානය ලැබීමට සුදුසු බැවින්ද අගතැන්පත් වූයේ මේ භික්‍ෂුවයි. ‘ස්වාමීනි, සතියක් මල් කූඩයක් දරන මා විසින් යමෙක් සත්කාර කරනු ලැබීද, ඒ අධිකාරයෙන් අන් සැපතක් නොපතමි. අනාගතයෙහි එක බුදුවරයකුගේ සසුනෙහි මේ තෙරුන් වහන්සේ මෙන් අංග දෙකින් යුතු ශ්‍රාවකයෙක් වන්නෙමියි ප්‍රාර්ථනයක් කළේය.