29. ඒකඤ්ජලික ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං යනාදී වශයෙන් ආයුෂ්මත් එකඤ්ජලකි තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ වැඩිවිය පැමිණියේ තෙරුවන්හි පැහැදුණේ පිඬු පිණිස හැසිරෙන විපස්සි භාග්‍යවතුන් වහන්සේ දැක පැහැදුණු සිත් ඇත්තේ ඇඳිලිබැඳ සිටියේය. ඔහු ඒ පුණ්‍යකර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ සියලු තන්හි පූජනීයව උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ධන සම්පත් ඇති කුලයක ඉපිද සසුනෙහි පැහැදී පැවිදි ව විදසුන් වඩා රහත්බවෙහි පිහිටියේය. පෙර කරන ලද පින් නිසා එකංජලික තෙරුන් වහන්සේ යයි ප්‍රකට විය.
ඔහු තමාගේ පින්කම සිහිකොට එය අතැඹුලක් සේ දැක උදාන වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සුවණ්ණ වණ්ණං යනාදිය කීය. විපස්සිං සත්තවාහග්ගං යනු වෙළඳුන් කාන්තාරයෙහි ගෙනයතියි තරණය කරවතියි සත්‍ථවාහො නමි. වැලිකතර, සොර කතර, දුබික් කතර, යක් කතර, දුබික් කතර යන කාන්තාරවලින් තරණය කරවයි. එතෙර කරවයි. හොඳින් තරණය කරවයි එගොඩ කරවයි කෙම්බිමට පමුණුවයි යන අර්ථයි. කවරෙක් ඒ වෙළඳ දෙටුවා වේද, සාත්තුවාහකයා හා සමාන බැවින් මේ භාග්‍යවතුන් වහන්සේද සත්‍ථවාහ නම් වෙති. එසේම උන්වහන්සේ ත්‍රිවිධ බෝධිය ප්‍රාර්ථනා කරන සේක් කරන ලද පුණ්‍ය සම්භාරයෙන් සත්ත්වයන් ජාති කාන්තාරය, ජරා කාන්තාරය, මරණ කාන්තාරය, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කාන්තාරයෙන්ද සියලු සංසාර කාන්තාරයෙන්ද තරණය කරවතියි, එතෙර කරවතියි හොඳින් එතෙර කරවතියි එගොඩ කරවතියි නිවන් පලයට පමුණුවතියි යන අර්ථයි. සත්‍ථවාහ වූයේ ද හෙම අග්‍ර ශ්‍රේෂ්ඨ ප්‍රධාන වූයේනුයි සත්‍ථවාහග්ග නමි. ඒ සත්‍ථවාහග්ග වූ විපස්සි සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ යනු සම්බන්ධයි. නරවීර විනායකං යනු නරයන් අතර අතිශය ලිහිල් නොවූ පරාක්‍රම ඇත්තේනුයි නරවීර නමි. විශේෂයෙන් කරන ලදපුණ්‍ය සම්භාරයන් ඇති සත්ත්වයන් ගෙන යයි නිවන්පුරට පමුණුවයිනුයි නායක නමි.
ඒ අදන්තදමනං තාදිං යනු රාග දෝස මෝහ ආදී කෙලෙස් සම්පතින් යුතු බැවින් කාය-වාක්-මනෝ ද්වාරය්නගෙන් අදාන්ත වූ සත්ත්වයන් දමනය කෙරේනුයි අදන්තමාන නමි. ඒ භාග්‍යවතුන් වහන්සේ ඉෂ්ටානිෂ්ට වූ අකම්ප්‍යතාදී ගුණ ඇත්තේනුයි තාදී නමි. ඒ මහාවාදිං මහාමතිං යනු ස්වසමය පරසමයවාදීන් අතරෙහි තමා හා සම අධික පුද්ගලයකු නැති බැවින් මහාවාදී නමි. මහපොළොව සමාන වූද මහාමේරු සමාන වූද ඥානයක් යමෙකුට වේද හේ මහාමති නමි. ඒ මහාමති වූ මහාවාදී වූ සම්බුදුරජාණන් වහන්සේ යනු මෙය තුල්‍යාධිකරණ විශේෂණයයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
එකඤ්ජලී තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
30. ඛොමදායක ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්‍ධුමතියා යනාදි වශයෙන් ආයුෂ්මත් ඛොමදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි අතිශයින් ප්‍රසන්න වූයේ රත්නත්‍රය මාමක වූයේ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දහම් අසා පහන්සිත් ඇත්තේ කොමු රෙදිවලින් පූජා කළේය. ඔහු එයම මුල්කොට දිවි ඇතිතෙක් පින්කොට එයින් දෙව්ලොව උපන්නේ සදෙව්ලොව කලින් කල දිව්‍යමය සැපත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව සක්විති ආදී අනේකවිධ මිනිස්සැපත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසා පිළිලද සැදැහැ ඇත්තේ පැවිදිව විදසුන් වඩා නොබෝ කලෙකින්ම රහත්බවට පත්විය. කරන ලද පිනෙහි නමින් ඛොමදායක තෙරුන් වහන්සේයයි ප්‍රකට වූ උන්වහන්සේ,
තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස්ව පූර්ව චරිතාපදානය දක්වන්නාහු නගරෙ බන්‍ධුමතියා යනාදිය කීහ. එහි බන්‍ධු යනුවෙන් කියැවෙන්නේ නෑයෝය. ඒ නෑයෝ යම් නගරයක ඔවුනොවුන් එක්ව වසත්ද, ඒ නගරය බන්‍ධුමතී යයි කියනු ලැබේ. රොපෙමි බීජසම්පදං යනු දාන සීල ආදී පුණ්‍ය බීජ සම්පත් රොපෙමි රෝපණය කරමි. පිහිටුවමි යන අර්ථයි.
ඛොමදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
තෙවැනි සුභූති වර්ගයෙහි වර්ණනාව සමාප්තයි.
සතර බණවර නිමියේය.
4. කුණ්ඩධාන වර්‍ගය
31. කුණ්ඩධාන ථේර අපදාන වර්ණනාව
සත්තාහං පටිසල්ලීනං යනාදි වශයෙන් ආයුෂ්මත් කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක උපන්නේ කියන ලද පරිදි භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ප්‍රථමයෙන් සලාකය ගන්නවුන් අතර අගතන්හි තබනු ලබන්නාහු දැක ඒ තනතුර ප්‍රාර්ථනා කොට එයට අනුරූප වූ පින් කරන්නේ හැසිරුණේය. ඔහු එක් දවසක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගීහුන් කල්හි රත්සිරියෙල් වැනි රතු රන්වන් පැහැ ඇති, මහත් වූ කෙසෙල්ගෙඩි ඇවරියක් පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය පිළිගෙන වැළඳූ සේක. ඔහු ඒ පින්කමින් එකොළොස්වරක් දෙවියන් අතර දේවරාජ තනතුර දැරීය. විසිසතර වරක් සක්විති රජ විය.