25. අන්නසංසාවක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පිඬු පිණිස හැසිරෙන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ව්යාමප්රභා මණ්ඩලයෙන් උපශෝභිත වූ භාග්යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇත්තේ භාග්යවතුන් වහන්සේට ආරාධනා කොට ගෙට පමුණුවා උතුම් අන්නපානයෙන් සන්තර්පණය කොට පවරා වැළඳවූ සේක. ඔහු ඒ සිත් පැහැදීමෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද දිවසැපත් අනුභවකොට එයින් චුතවූයේ මිනිස් ලොව උපන්නේ මිනිස් සැප අනුභව කොට එසේ වරින්වර දෙවිමිනිස් සැප අනුභව කොට, මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදි ව විදර්ශනා වඩා රහත් බවට පත්විය. හෙතෛම් පෙර කරන ලද පිනක නම් වශයෙන් අන්න සංසාවක තෙරුන් යයි ප්රකට නම් ඇත්තේ විය.
පසුකලෙක තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නස් වූයේ මෙසේ මා විසින් මේ පුණ්ය සම්භාරයෙහි ආනුභාවයෙන් පැමිණි රහත් බව යයි තමාගේ පූර්ව චරිතාපදානය උදාන වශයෙන් පවසන්නේ සුවණ්ණ වණ්ණං යනාදිය කීය. එහි ස්වර්ණයෙහි වර්ණය මෙන් වර්ණයක් යම් භාග්යවතුන් වහන්සේ කෙනකුන්ට වේද එය ස්වර්ණවර්ණයයි. ඒ ස්වර්ණ වර්ණ සම්බුද්ධ වූ සිද්ධාර්ථ යන අර්ථයි. ගච්ඡන්තං අන්තරාපණෙ යනු වෙළෙඳුන්ගේ ආපණ පෙළෙහි ඇතුළු වීදියෙහි ගමන්කරන. කඤ්චනග්ඝිය සංකාසං යනු රන් තොරණක් හා සමාන දෙතිස් උතුම් ලකුණින් යුතු. ලොකපජ්ජොතං සියලු ලොවට පහනක් වූ. අප්පමෙය්යං ප්රමාණ විරහිත. අනොපමං උපමා රහිත. ජුතින්ධරං ආලෝකධාරී. නීලපීතාදී සවණක් බුදුරැස් දරන්නා වූ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ දැක පරමං උතුම් වූ ප්රීතියක් අලත්ථං ලැබුවෙමි යි සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
අන්න සංසාවක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
26. ධූපදායක ථේර අපදාන වර්ණනාව
සද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ඒ භාග්යවතුන් වහන්සේගේ ගඳකිළිය සඳුන් අගිල් කාලානුසාරී ආදියෙන් කරන ලද නොයෙක් ධූපයන්ගෙන් ධූප පූජාවක් කළේය. ඔහු ඒ පිනින් දෙවියන් අතරද මිනිසුන් අතරද උභයසම්පත්තීන් අනුභව කරන්නේ උපනුපන් භවයෙහි පිදිය යුත්තෙක්ව මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්ය සම්භාරයෙහි ආනුභාවයෙන් සසුනෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පත්ව කරන ලද ධූප පූජා පින් ඇති බැවින් නමින් ධූපදායක තෙරුන් වහන්සේ යයි සියලු තැන ප්රකට විය. ඔහු පත්වූ රහත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය දක්වන්නේ සිද්ධත්ථස්සභගවතො යනාදිය කීය. සිද්ධො පිරිපුන් සර්වඥතාඥාන සංඛ්යාත අත්ථො ප්රයෝජනය යම් භාග්යවතුන් වහන්සේ කෙනකුන්ටද ඒ සිද්ධාර්ථ නමි. ඒ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේට. භගවතො භාග්ය ආදී ගුණ ඇති ලොක ජෙට්ඨස්ස සියලු ලෝකයට උත්තම වූ. තාදිනො ඉටුඅනිටු දහම්හි තාදිස්ස නොසැලී සිටින්නා වූ යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ධූපදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
27. පුලිනපූජක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් පුලිනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ විපස්සී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පහන්සිත් ඇත්තේ සෑමළු බෝමළුවල පැරණි වැලි ඉවත්කොට අලුත් මුතුඇට වැනි සුදුවැලි විසුරුවා මළු අලංකාර කළේය. ඒ කර්මයෙන් ඔහු දෙව්ලොව උපන්නේ එහි දිව්යමය රත්නයන්ගෙන් බබලන යොදුන් ගණනක් වූ රන්විමනෙක දිව්යසම්පත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව සත්රුවනින් යුතු වූයේ සක්විති රජ ව මිනිස් සම්පත් අනුභවකොට තැන තැන හැසිරෙන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදිව විදර්ශනා වඩා රහත්බවට පත්විය. තමා කළ පිනෙහි නමට සමාන නමින් පුලිනපූජක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.