26. ධූපදායක ථේර අපදාන වර්ණනාව
සද්ධත්ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් ධූපදායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේ කෙරෙහි සිත් පහදවා ඒ භාග්යවතුන් වහන්සේගේ ගඳකිළිය සඳුන් අගිල් කාලානුසාරී ආදියෙන් කරන ලද නොයෙක් ධූපයන්ගෙන් ධූප පූජාවක් කළේය. ඔහු ඒ පිනින් දෙවියන් අතරද මිනිසුන් අතරද උභයසම්පත්තීන් අනුභව කරන්නේ උපනුපන් භවයෙහි පිදිය යුත්තෙක්ව මේ බුද්ධෝත්පාදයෙහි එක් කුලගෙයක උපන්නේ පුණ්ය සම්භාරයෙහි ආනුභාවයෙන් සසුනෙහි පැවිදිව විදසුන් වඩා රහත්බවට පත්ව කරන ලද ධූප පූජා පින් ඇති බැවින් නමින් ධූපදායක තෙරුන් වහන්සේ යයි සියලු තැන ප්රකට විය. ඔහු පත්වූ රහත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වූයේ පූර්ව චරිතාපදානය දක්වන්නේ සිද්ධත්ථස්සභගවතො යනාදිය කීය. සිද්ධො පිරිපුන් සර්වඥතාඥාන සංඛ්යාත අත්ථො ප්රයෝජනය යම් භාග්යවතුන් වහන්සේ කෙනකුන්ටද ඒ සිද්ධාර්ථ නමි. ඒ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේට. භගවතො භාග්ය ආදී ගුණ ඇති ලොක ජෙට්ඨස්ස සියලු ලෝකයට උත්තම වූ. තාදිනො ඉටුඅනිටු දහම්හි තාදිස්ස නොසැලී සිටින්නා වූ යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
ධූපදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
27. පුලිනපූජක ථේර අපදාන වර්ණනාව
විපස්සිස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් පුලිනපූජක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ විපස්සී භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පහන්සිත් ඇත්තේ සෑමළු බෝමළුවල පැරණි වැලි ඉවත්කොට අලුත් මුතුඇට වැනි සුදුවැලි විසුරුවා මළු අලංකාර කළේය. ඒ කර්මයෙන් ඔහු දෙව්ලොව උපන්නේ එහි දිව්යමය රත්නයන්ගෙන් බබලන යොදුන් ගණනක් වූ රන්විමනෙක දිව්යසම්පත් අනුභවකොට එයින් චුතව මිනිස්ලොව සත්රුවනින් යුතු වූයේ සක්විති රජ ව මිනිස් සම්පත් අනුභවකොට තැන තැන හැසිරෙන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි ධනසම්පත් ඇති එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදිව විදර්ශනා වඩා රහත්බවට පත්විය. තමා කළ පිනෙහි නමට සමාන නමින් පුලිනපූජක තෙරුන් වහන්සේ යයි ප්රකට විය.
උන්වහන්සේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් ඇත්තාහු පෙර චරිතාපදානය දක්වන්නාහු විපස්සිස්ස භගවතො යනාදිය කීහ. එහි විවිධ ලෙස බලතියි විපස්සි නමි. වෙන් වෙන්ව බලතියි හෝ විපස්සි නමි. විවිධ වූ ආත්මාර්ථ පරාර්ථ ආදි භේද ඇති අර්ථයන් බලතියි හෝ විපස්සි නමි. ඒ විපස්සි බුදුරදුන්ගේ පුරාණ පුලිනං වැලි, ඉවත්කොට පිරිසිදු සුදුවැලි ආකිරිං ඇතිරුවෙමි. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේ ම ය.
පුලිනපූජක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
28. උත්තරිය ථේර අපදාන වර්ණනාව
චන්දභාගා නදීතීරේ යනාදි වශයෙන් ආයුෂ්මත් උත්තිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි චන්ද්රභාගා නදියෙහි කිඹුලෙක්ව උපන්නේ නදීතෙරට පැමිණි භාග්යවතුන් වහන්සේ දැක පහන් සිතැත්තේ එතෙරට ගෙනයනු කැමැත්තේ ගංතෙර සමීපයෙහි වැදහොත්තේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අනුකම්පාවෙන් පිටමක පා තැබූ සේක. ඌ සතුටුවූයේ ඔදවැඩියේ ප්රීති වේගයෙන් අතිශයින් උත්සාහවත්ව දියපහර බිඳගෙන මහත් ජවයෙන් භාග්යවතුන් වහන්සේ එතෙරට ඇරලීය. භාග්යවතුන් වහන්සේ උගේ චිත්තප්රසාදය දැන මූ මෙයින් චුතව දෙව්ලොව උපදින්නේය. එතැන් පටන් සුගතීන්හිම සැරිසරන්නේ මෙයින් අනූහතර වැනි කල්පයෙහි නිවනට පැමිණෙන්නේයයි ප්රකාශකොට වැඩි සේක.
ඌ එසේ සුගතීන්හි පමණක් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක්තරා බමුණකුගේ පුත්රයෙක් ව උපන්නේ ය. ඔහුට උත්තිය යයි නමක් තැබූහ. ඔහු වැඩිවියට පත්ව නිවන් සොයන්නෙමියි පරිබ්රාජකයෙක්ව එක් දවසක් භාග්යවතුන් වහන්සේ දැක එළඹ දහම් අසා ලැබූ ශ්රද්ධා ඇත්තේ සසුනෙහි පැවිදිව ශීල දෘෂ්ටීන් පිරිසිදු නැති බැවින් විශේෂයක් නිපදවා ගන්නට නොහැකි වන්නේ වෙනත් භික්ෂුවක් විශේෂයක් නිපදවාගෙන අනෙකකුට ප්රකාශ කරනු දැක ශාස්තෲන් වහන්සේ කරා එළඹ සංක්ෂේපයෙන් අවවාද ඉල්ලා සිටියේය. ශාස්තෲන් වහන්සේද ‘ඒ නිසා උත්තිය, මෙහිදී පළමුවෙන්ම සීලය පිරිසිදු කරව’යි ආදි වශයෙන් සංක්ෂේපයෙන්ම අවවාද දුන් සේක. උන්වහන්සේ ශාස්තෲන් වහන්සේගේ අවවාදයෙහි සිට විදර්ශනාව ඇරඹූහ. ඇරඹූ විදර්ශනා ඇති උන්වහන්සේට ආබාධයක් හටගැනිණ. ආබාධය ඇතිවූ විට උපන් සංවේග ඇත්තාහු වීර්ය ආරම්භ කිරීමට ඇති කරුණ දැන විදර්ශනා වඩා රහත්බවට පැමිණියහ.