22. උපවාන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාම ජිනො යනාදී වශයෙන් ආයුෂ්මත් උපවාන තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේ පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි දිළිඳු කුලයෙක ඉපිද දැනුමිති බවට පත්වූවාහු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි උන්වහන්සේගේ ශාරීරික ධාතු ගෙන මනුෂ්‍ය දේව නාග ගරුඬ යක්ෂ කුම්භාණ්ඩ ගාන්ධර්වයන් විසින් සත්රුවන් මුවා සත්යොදුන් ස්තූපයක් කරන ලද කල්හි එහි මනාව සේදූ තමාගේ උතුරුසළුව රිටිඅග බැඳ ධ්වජයක් කොට පූජා කළහ. එය ගෙන දෙවියන් චෛත්‍ය පූජා ආරක්‍ෂණය පිණිස තැබූ අභිසම්මතක නම් යක්ෂ සේනාපතියා අදෘශ්‍යමාන සිරුරක් ඇත්තේ එය අහසෙහි දරමින් චෛත්‍යය තෙවරක් ප්‍රදක්ෂිණා කළේය. ඔහු එය දැක බෙහෙවින් පහන් සිතැත්තේව ඒ පුණ්‍ය කර්මයෙන් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර බමුණු කුලයෙක ඉපිද උපවානයයි ලද නම් ඇත්තේ වැඩිවිය පත්ව ජේතවනය පිළිගැනීමේදී බුද්ධානුභාවය දැක ලැබුවා වූ ශ්‍රද්ධාව ඇත්තේ පැවිදිව විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ රහත් බවට පත්ව ෂට් අභිඥා ඇත්තේ විය. යම්කලෙක භාග්‍යවතුන් වහන්සේට අපහසුවක් වීද, එකල්හි තෙරුන් වහන්සේ උණුදිය සුදුසු බෙහෙත් පැන් ද භාග්‍යවතුන් වහන්සේට පිරිනැමූහ. එයින් ශාස්තෲන් වහන්සේගේ රෝගය සංසිඳිණ. ඔහුට භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනා කළ සේක.
මෙසේ ඔහු පැමිණි රහත්ඵල ඇත්තේ ලැබූ අගතැන් ඇත්තේ තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරොනාම ජිනො යනාදිය කීය. එහි සියලු ලෞකික ලෝකෝත්තර ධර්මයන්හි පරතෙරට ගිය කෙළවරට නිර්වාණයට ගතො පැමිණි පදුමුත්තර නම් ජිනො දිනූ පස් මරුන් ඇති භාග්‍යවතුන් වහන්සේ ගිනිකඳක් මෙන් සවණක් බුදුරැසින් දිලිහී මුළුලොව දහම් පහනින් බබුළුවා සම්බුද්ධො මැනවින් බුදුවූයේ අවිද්‍යා නමැති නිද්‍රාවට ගිය ප්‍රජාවගේ සවාසනා කෙලෙස් නින්දෙන් පටිබුද්ධො පිපුණු නෙත් නැමැති නෙළුම් ඇත්තේ පරිනිබ්බුතො ස්කන්ධ පරිනිර්වාණයෙන් නිබ්බුතො අදර්ශනයට පැමිණියේ යන සම්බන්ධයි.
ජංඝා යනු චෛත්‍ය කරන කල්හි මත්තෙහි තැබිය යුතු ගඩොල් තැබීම පිණිස බඳිනු ලබන ඉණිමග.
සුධොතං රජකෙනාහං යනු වස්ත්‍ර සෝදන්නා වූ පුරුෂයා විසින් මනාසේ සෝදන ලද සුපිරිසිදු කරන ලද. උත්තරෙය්‍යපටං මාගේ උතුරුසළුව මම රිටි අග බැඳ ධජයක් කොට එසවීමි. අම්බරෙ අහසෙහි එසවූයෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේ ම ය.
උපවාන තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
23. සරණගමනිය ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්‍ධුමතියා ආදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නුවර කුලගෙයක ඉපිද අඳ මාපියන්ට උවටැන් කළේය. ඔහු එක් දවසක් මෙසේ සිතීය. මම මාපියන්ට උවටැන් කරන්නේ පැවිදිවන්ට නොලබමි. තුන්සරණ ගන්නෙම් නම් මැනවි. මෙසේ දිළිඳු බවින් මිදෙන්නෙමියි නිසභ නම් වූ විපස්සි භාග්‍යවතුන් වහන්සේගේ අගසවු වෙත එළඹ තිසරණ ගත්තේය. ඔහු ඒවා සියදහසක් වස් රැක එම කර්මයෙන්ම තව්තිසා භවනයෙහි උපන්නේ ඉන්පසුව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර මහසල් කුලයෙක ඉපිද දැනමිති බවට පැමිණියේ සත්හැවිරිදිව දරුවන් විසින් පිරිවරන ලද්දේ එක් සංඝාරාමයකට ගියේය. එහි එක් රහත් තෙරනමක් ඔහුට දහම් දෙසා සරණ දුන්නේය. හෙතෙම සරණ ගෙන පෙර තමා විසින් රක්නා ලද සරණ සිහිකොට විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ රහත් බටව පැමිණි ඔහු උපසම්පදා කරවූ සේක.
ඔහු රහත් බවට පැමිණියේ උපසම්පන්නව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නේ නගරෙ බන්‍ධුමතියා යනාදිය කීය. එහි මාතුපට්ඨායකො අහු යනු මම මාපියන් උපට්ඨාකො පෝෂණය කරන්නේ බන්ධුමතී නගරයේම සිටියෙමියි සම්බන්ධයි.
තමන්‍ධකාර පිහිතා යනු මෝහාන්ධකාරයෙන් පිහිතා වැසුණු. තිවිධග්ගීහි ඩය්හරෙ යනු රාගාග්නිය, දෝෂාග්නිය, මෝහාග්නිය සංඛ්‍යාත වූ ගිනි තුනින් ඩය්හරෙ සියලු සත්ත්වයෝ දැවෙත් යන සම්බන්ධයි.
අට්ඨහෙතු ලභාමහං යනු සැපයට හේතුවන කරුණු අට ලබමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේමය.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.