23. සරණගමනිය ථේර අපදාන වර්ණනාව
නගරෙ බන්ධුමතියා ආදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි බන්ධුමතී නුවර කුලගෙයක ඉපිද අඳ මාපියන්ට උවටැන් කළේය. ඔහු එක් දවසක් මෙසේ සිතීය. මම මාපියන්ට උවටැන් කරන්නේ පැවිදිවන්ට නොලබමි. තුන්සරණ ගන්නෙම් නම් මැනවි. මෙසේ දිළිඳු බවින් මිදෙන්නෙමියි නිසභ නම් වූ විපස්සි භාග්යවතුන් වහන්සේගේ අගසවු වෙත එළඹ තිසරණ ගත්තේය. ඔහු ඒවා සියදහසක් වස් රැක එම කර්මයෙන්ම තව්තිසා භවනයෙහි උපන්නේ ඉන්පසුව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මෙම බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර මහසල් කුලයෙක ඉපිද දැනමිති බවට පැමිණියේ සත්හැවිරිදිව දරුවන් විසින් පිරිවරන ලද්දේ එක් සංඝාරාමයකට ගියේය. එහි එක් රහත් තෙරනමක් ඔහුට දහම් දෙසා සරණ දුන්නේය. හෙතෙම සරණ ගෙන පෙර තමා විසින් රක්නා ලද සරණ සිහිකොට විදර්ශනා වඩා රහත් බවට පැමිණියේය. භාග්යවතුන් වහන්සේ රහත් බටව පැමිණි ඔහු උපසම්පදා කරවූ සේක.
ඔහු රහත් බවට පැමිණියේ උපසම්පන්නව තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නේ නගරෙ බන්ධුමතියා යනාදිය කීය. එහි මාතුපට්ඨායකො අහු යනු මම මාපියන් උපට්ඨාකො පෝෂණය කරන්නේ බන්ධුමතී නගරයේම සිටියෙමියි සම්බන්ධයි.
තමන්ධකාර පිහිතා යනු මෝහාන්ධකාරයෙන් පිහිතා වැසුණු. තිවිධග්ගීහි ඩය්හරෙ යනු රාගාග්නිය, දෝෂාග්නිය, මෝහාග්නිය සංඛ්යාත වූ ගිනි තුනින් ඩය්හරෙ සියලු සත්ත්වයෝ දැවෙත් යන සම්බන්ධයි.
අට්ඨහෙතු ලභාමහං යනු සැපයට හේතුවන කරුණු අට ලබමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැකි වන්නේමය.
සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
24. පඤ්චසීල සමාදානිය ථේර අපදාන වර්ණනාව
නගරෙ චන්දවතියා යනාදි වශයෙන් ආයුෂ්මත් පංචසීල සමාදානිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ අනෝමදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පෙර භවයෙහි කරන ලද කුසල කර්මානු රූපයෙන් දිළින්දෙක්ව අල්ප වූ ආහාරපාන බුදින්නේ අනුන්ගේ බැලමෙහෙවර කොට ජීවත්වන්නේ සසර ආදීනව දැක පැවිදිවනු කැමැත්තේ වුවද පැවිද්ද නොලබන්නේ අනොමදස්සි භාග්යවතුන් වහන්සේගේ ශ්රාවක වූ නිසභ තෙරුන්වහන්සේ සමීපයෙහි පන්සිල්පද සමාදන් විය. දීර්ඝායුෂ ඇතිකලෙක උපන් බැවින් වර්ෂ සියදහස් ගණනක් සිල් රැක්කේය. ඒ කර්මයෙන් ඔහු දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි විශාලා නුවර මහාභෝග කුලයෙක උපන්නේ මව්පියන් සිල්සමාදන් වනු දැක තමාගේ සීලය සිහිකොට පැවිදිව විදර්ශනා වඩා රහත්බවට පැමිණියේය.
තමාගේ පූර්වකර්මය සිහිකොට සොම්නස් වූයේ උදාන වශයෙන් පූර්ව චරිතාපදානය පවසන්නේ නගරෙ චන්දවතියා යනාදිය කීය. භතකො ආසභං තදා යනු මා පින්කරන කාලයෙහි මම භතකො බැලමෙහෙ කරන්නෙක් ආසිං වීමි. පරකම්මායනෙ යුත්තො යනු බැලයෙන් අනුන්ගේ වැඩ කිරීමෙන් ආහාරයෙහි යුත්තො යොදවන ලදුයේ අවසරයක් නොමැති බැවින් සසරින් මිදීම පිණිස මම පැවිද්ද නොලබමි.
තමන්ධකාර පිහිතා යනු කෙලෙස් අඳුරින් පිහිතා වැසුණාහු. තිවිධග්ගීහි ඩය්හරෙ යනු නරකාග්නිය, ප්රේතාග්නිය, සංසාරාග්නිය සංඛ්යාත වූ තුන් ගින්නෙන් දැවෙත්. මම වනාහි කුමන උපායකින් කුමන කරුණකින් වෙන්වූයේ වන්නෙම්ද යන අර්ථයි.
දෙය්යධම්මො ආහාරපානාදී දියයුතුව තිබෙන වස්තුවක් මට නැත. ඒ නැතිකමින් මම වරාකො දුප්පතෙකි. භතකො බැලමෙහෙවරින් ජීවත් වන්නෙකි. මම පන්සිල් රක්ඛෙය්යං පුරන්නෙම් නම් මැනවැයි පන්සිල් සමාදන්ව පුරන්නේ යන්නූන රක්ඛෙය්යං මනාසේ හොඳින් සොඳුරු කොට පාලනය කරන්නෙමි යන අර්ථයි.
සොභං යසං අනුභවිං යනු ඒ මම දෙවිමිනිසුන් අතර මහත්වූ යසසක් අනුභව කෙළෙමි. තෙසං සීලානං වාහසා ආනුභාවයෙන්ය යන අර්ථයි. කල්පකෝටියක් වුවද ඒ සිල්වල ඵල කියන්නේ එක් කොටසක් පමණක් කිත්තයෙ ප්රකට කරන්නෙමි යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැක්කේ ම ය.
පංචසීල සමාදානිය තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
25. අන්නසංසාවක ථේර අපදාන වර්ණනාව
සුවණ්ණවණ්ණං සම්බුද්ධං යනාදි වශයෙන් ආයුෂ්මත් අන්නසංසාවක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහු ද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක උපන්නේ පිඬු පිණිස හැසිරෙන දෙතිස්මහා පුරුෂ ලක්ෂණ ව්යාමප්රභා මණ්ඩලයෙන් උපශෝභිත වූ භාග්යවතුන් වහන්සේ දැක පහන් සිත් ඇත්තේ භාග්යවතුන් වහන්සේට ආරාධනා කොට ගෙට පමුණුවා උතුම් අන්නපානයෙන් සන්තර්පණය කොට පවරා වැළඳවූ සේක. ඔහු ඒ සිත් පැහැදීමෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද දිවසැපත් අනුභවකොට එයින් චුතවූයේ මිනිස් ලොව උපන්නේ මිනිස් සැප අනුභව කොට එසේ වරින්වර දෙවිමිනිස් සැප අනුභව කොට, මෙම බුද්ධෝත්පාද කාලයෙහි එක් කුලයක උපන්නේ සසුනෙහි පැහැදී පැවිදි ව විදර්ශනා වඩා රහත් බවට පත්විය. හෙතෛම් පෙර කරන ලද පිනක නම් වශයෙන් අන්න සංසාවක තෙරුන් යයි ප්රකට නම් ඇත්තේ විය.