19. ස්වපාක ථේර අපදාන වර්ණනාව
පබ්භාරං සොධයන්තස්ස යනාදී වශයෙන් ආයුෂ්මත් සෝපාක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවූ පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි එක්තරා කෙළෙඹියකුගේ පුත්රයෙක්ව උපන්නේය. එක් දවසක් ශාස්තෲන් වහන්සේ දැක බීජයන්ගෙන් පිරුණු පළතුරු ශාස්තෲන් වහන්සේට පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා වැළඳූ සේක. ඒ භික්ෂුව ශාස්තෲන් වහන්සේ කෙරෙහිද සංඝයා කෙරෙහිද අතිශයින් පහන් වූයේ සලාක දන් පිහිටුවා සංඝයා උද්දේශ වශයෙන් භික්ෂූන් තුන්නමකට දිවි ඇති තෙක් කිරිබත් දුන්නේය. ඔහු ඒ පින් නිසා දෙවි මිනිසුන් අතර සම්පත් අනුභව කරන්නේ එක්කලෙක මනුෂ්‍ය යෝනියෙහි උපන්නේ එක් පසේ බුදුවරයකුට කිරිබත් දුන්නේය.
මෙසේ තන්හි තන්හි පින්කොට සුගතියෙහි පමණක් සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි පෙර කළ කම් හේතුවෙන් සැවැත්නුවර එක්තරා දුප්පත් ස්ත්‍රියකගේ කුස පිළිසිඳ ගත්තේය. ඇය ඔහු දසමසක් කුසින් දරා ගැබ මුහුකුරා ගිය කල්හි වදනකල වදන්ට නොහැකි වන්නී මූර්ඡාවට පැමිණ බොහෝ වේලාවක් මළාක් මෙන් වැදහොත්තීය. ඥාතීහු මළායයි හැඟීමෙන් සොහොනට ගෙනගොස් චිතකයට නගා දෙවියන්ගේ අනුහසින් නැගුණු වාත වර්ෂාවෙන් ගිනි නොදී ගියාහුය. දරුවා පශ්චිම භවික වූ බැවින් දෙවියන්ගේ අනුහසින්ම නිරෝගීව මව්කුසින් නික්මියේය. මව නම් කලුරිය කළාය. දෙවියෝ මිනිස් වෙසින් පැමිණ ඔහු ගෙන සොහොන් ගොව්වාගේ ගෙහි තබා කිහිප දිනක් සුදුසු අහරින් පෝෂණය කළහ. එතැන් පටන් සොහොන් ගොව්වා තමාගේම පුත්‍රයා කොට වර්ධනය කළේය. ඔහු එසේ වැඩෙන්නේ ඔහුගේ පුත්‍ර වූ සුප්‍රිය නම් දරුවා සමග ක්‍රීඩා කරන්නේ හැසිරුණේය. ඔහුට සොහොනෙහි ඉපදී වැඩුණු බැවින් සෝපාක නම් අනවර්ථ නාමයක් විය.
ඉක්බිති එක්දවසක් භාග්‍යවතුන් වහන්සේ උදෑසන වේලාවෙහි ඥාන බලය පතුරුවා හික්මවිය යුතු බන්ධූන් බලනසේක් එම දරුවා ඥාන ජාලයෙහි අන්තර්ගත වූ බව දැක එම සොහොන් පොළට වැඩි සේක. දරුවා පූර්ව හේතුවෙන් මෙහෙයවනු ලබන්නේ පහන් වූ සිත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ කරා එළඹ සිටියේය. ශාස්තෲන් වහන්සේ ඔහුට ධර්මය දෙසූ සේක. ඔහු ධර්මය අසා පැවිද්ද ඉල්ලා, පියා විසින් අනුදන්නා ලද්දේදැයි කියන ලද්දේ පියා ශාස්තෲන් වහන්සේ සමීපයට කැඳවාගෙන ආවේය. ඔහුගේ පියා ශාස්තෲන් වහන්සේට වැඳ මේ දරුවා පැවිදි කරනු මැනවැයි අනුමත කළේය. ඔහු පැවිදිකොට භාග්‍යවතුන් වහන්සේ ඔහු මෛත්‍රී භාවනාවෙහි නියුක්ත කළ සේක. ඔහු මෛත්‍රී කර්මස්ථානය ගෙන සොහොනෙහි වෙසෙන්නේ නොබෝ කලකින්ම මෛත්‍රී ධ්‍යානය උපදවා ධ්‍යානය පාදකකොට විදර්ශනා වඩා රහත් බව සාක්ෂාත් කළේය. රහත්ව අනිකුත් සුසානයෙහි වෙසෙන භික්ෂූන්ට මෛත්‍රී භාවනා විධිය දක්වන්නේ යථාහි එකපුත්තස්මිං යන ගාථාව කීවේය. මෙය කියන ලද්දේ වෙයි. යම්සේ ප්‍රියමනාප වූ එකම පුත්‍රයා කෙරෙහි මව පියා යහපත කැමතිව ඒකාන්ත හිතෛෂී වන්නේද, එසේම පෙරදිග ආදී භේද ඇති සියලු දිසාවලද කාමභව ආදී භේද ඇති සියලු භවයන්හිද දහර ආදී භේද ඇති සියලු අවස්ථාවල ද සිටි සියලු සත්ත්වයන් කෙරෙහි ඒකාන්ත හිතෛෂී භාවය නිසා යහපත කැමති වන්නේය. මිත්‍රයෙක් ය, උදාසීන වූවෙක් ය, සතුරෙක් ය යන සීමාවක් නොකොට සීමා බිඳීම් වශයෙන් සියලු තැන එකම රසයක් ඇති මෙත් වඩවු. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සුබංසුපති’ ආදි වශයෙන් මෛත්‍රියෙහි එකොළොස් අනුසස් වදාළ සේක් එබැවිනි. ඒකාන්තයෙන් එයින් ඒවාට කොටස්කරුවෝ වවු යයි අවවාද දුන්නේය.
මෙසේ පැමිණි ඵලාවබෝධ ඇත්තේ තමා කළ පුණ්‍ය කර්මය නැවත මෙනෙහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය දක්වන්නේ පබ්භාරං සොධයන්තස්ස ආදිය කීය. එහි පබ්භාරං යනු ගල් පර්වතයෙහි විවේකස්ථානයයි. පැවිද්දන්ට සුදුසු බැවින් ගඩොල් ප්රාකාරයක් කොට දොරකවුළුවක් යොදා භික්ෂූන්ගේ වාසය පිණිස දුන්නේය. ප්‍රාකාරයෙන් බර පැතිය යුත්තේනුයි පබ්භාර නමි. එය පිරිසිදු කරන්නා වූ මාගේ සමීපයට සිද්ධාර්ථ නම් භාග්‍යවතුන් වහන්සේ ආගඤ්ජි වැඩි සේක.
බුද්ධං උපගතං දිස්වා යනු මෙසේ මාගේ සමීපයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ දැක. තාදිනො ඉෂ්ට අනිෂ්ට අකම්ප්‍ය ස්වභාව ඇති බැවින් තාදී ගුණයෙන් යුතු ලෝකජ්‍යෙෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේට. සන්ථරං තණකොට ආදි ඇතිරිල්ලක්. දර ඇතිරිල්ලක් පඤ්ඤාපෙත්වා නිමවා පුප්ඵාසනං මලින් තැනූ ආසනයක් මම දුනිමි.