2. සිංහාසනදායක වර්‍ගය
11. සිංහාසනදායක ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි යනාදි වශයෙන් ආයුෂ්මත් සීහාසන දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැන තැන පින් රැස් කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි විභව සම්පත් ඇති සැදැහැවත් එක් කුලයෙක ඉපිද භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳිනා කල්හි දෙව්ලොව වැස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පෑ කල්හි උපන් බැවින් දැනුමැති බවට පත්වූයේ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික චෛත්‍යය දැක අහෝ මට අලාභයෙකි. භාග්‍යවතුන් වහන්සේ ජීවත්වන කාලයක් නොපැමිණියේ යයි සිතා චෛත්‍යය කෙරෙහි සිත පහදවා සොම්නස් හටගත්තේ සියල්ල රන්මුවා වූ දෙවියන් නිමවූ දෙයක් බඳු ධර්මාසනයෙහි සිහසුනක් කරවා දිවමන් බුදුරදුන්ට මෙන් පූජා කළේය. එයට උඩින් දිවවිමනක් බඳුව ගෙයක් කරවීය. පාතබන පාපුටුවක්ද කරවීය. එසේ දිවි ඇති තෙක් පහන් දුම් මල් සුවඳ ආදියෙන් නානාවිධ පූජාකොට එයින් චුතව දෙව්ලොව උපන්නේ කාමස්වර්ග සයෙහි නැවත නැවත දෙව් සැපත් අනුභව කොට ගණන් නැති ප්‍රදේශ රාජ සම්පත්ද අනුභව කොට කාශ්‍යප බුදුරදුන්ගේ සසුනෙහි පැවිදිව මහණදම් කොට ඒ අතරෙහි දෙව් මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි එක් විභව සම්පත් ඇති කුලයෙක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව අසා ලැබූ සැදැහැ ඇත්තේ පැවිදිව ලැබූ උපසම්පදාව ඇත්තේ කමටහන් ගෙන උත්සාහ කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය.
මෙසේ පැමිණි අරහත්ඵල ඇත්තේ තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නස් උපදවා පෙර අපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙ ලොකනාථම්හි යනාදිය කීය. එහි ලෝකයට නාථ වූයේ ප්‍රධාන වූයේනුයි ලොකනාථො. තුන්ලොවට ස්වාමී යන අර්ථයි. ලෝකනාථ වූ සිද්ධාර්ථ බුදුරදුන් පිරිනිවි කල්හි යන සම්බන්ධයි. විත්‍ථාරිතෙ පාවචනෙ යනු බුදුදහම නමැති තුන්පිටකයෙහි විත්‍ථාරිතෙ පිහිටි කල්හි ප්‍රකට වූ කල්හි යන අර්ථයි. බාහුජඤ්ඤම්හි සාසනෙ යනු ශික්‍ෂාත්‍රය සංගෘහිත වූ බුද්ධ ශාසනයෙහි නොයෙක් සියදහස් ගණන් ක්‍ෂීණාශ්‍රව සංඛ්‍යාත වූ බොහෝ ජනයන් විසින් දැනගත් අවබෝධ කරගත් යන අර්ථයි.
පසන්නචිත්තො සුමනො යනු එදා මම බුදුන් දිවමන් කල්හි අසම්පත්තෙ නොපැමිණ, පිරිනිවන්පෑ කල්හි දෙව්ලොවින් චුතව මිනිස්ලොව උපන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරිකධාතු චෛත්‍යය දැක පහන් සිත් ඇත්තේ ශ්‍රද්ධා සම්ප්‍රයුක්ත මනසින් යුක්ත වූයේ සුමනො සොඳුරු මනසින් යුතුව අහෝ මාගේ ආගමනය මනාගමනකැයි හටගත් ප්‍රසාද බහුමාන ඇත්තේ මා විසින් නිවන අවබෝධ කරනු පිණිස එක් පිනක් කිරීමට වටී යයි සිතා භාග්‍යවතුන් වහන්සේගේ චෛත්‍යය සමීපයෙහි භාග්‍යවතුන් වහන්සේ උදෙසා හිරඤ්ඤ රන්රුවන් ආදියෙන් අලංකාරකොට සිහසුනක් කළේය. එහි හුන්නහුට පාතබනු පිණිස පාපුටුවක්ද කරවීමි. සිහසුන නොතෙමෙනු පිණිස එයට උඩින් ගෙයක් ද කරවීමි. එහෙයින් කියන ලදි. සීහාසන මකාසහං -පෙ- ඝරංතත්‍ථ අකාසහං යනුවෙන් තෙන චිත්තප්පසාදෙන යනු දිවමන් භාග්‍යවතුන් වහන්සේගේ වැනි සිංහාසනයක් මා විසින් කරන ලදි. ඒ චිත්ත ප්‍රසාදයෙන් තුසිතං උපජ්ජහං යනු තුසිත භවනයෙහි උපන්නෙමි යන අර්ථයි.
ආයාමෙන චතුබ්බීසා යනු එහි දෙවියකුව උපන් මාගේ සුකතං පිනින් උපන්, පහළ වූ විමානය ආයාමෙන උසින් යොදුන් විසිහතරකි. විත්‍ථාරෙන පුළුලින් යොදුන් දහහතරකි. තාවදෙව උපන් කෙණෙහිම ආසි විය යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දතහැකිමය.
චතුනවුතෙ ඉතො කප්පෙ යනු මෙයින් අනූහතරවැනි කල්පයෙහි යංකම්මං අකරි කළේය. තදා එතැන් පටන් කරන ලද පින් පලයෙන් කිසිදු දුග්ගතිං නාභිපානාමි අනුභව කළ කිසිදු දුගතියක් නැත යන අර්ථයි.
තෙ සතත්ති ඉතො කප්පෙ යනු මේ කල්පයෙන් සැත්තෑවැනි කල්පයෙහි ඉන්‍දනාමා තයො ජනා යනු පිළිවෙලින් ජාති තුනකම ඉන්ද්‍ර නම් වූ සක්විති රජවරුන් තිදෙනෙක් වීමි යන අර්ථයි. ද්වෙ සත්තති ඉතො කප්පෙ යනු මෙයින් සැත්තෑ දෙවැනි කල්පයෙහි සුමන නම් ඇතිව තෙවරක් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
සමසත්තතිම්හි තො කප්පෙ යනු මේ කල්පයෙන් අඩුවැඩි නොවූ සැත්තෑවැනි කල්පයෙහි, වරුණ නාමකා වරුණ සක්විතිය යන එබඳු නම් ඇතිව සක්විති රජවරු තිදෙනෙක්ම සත්රුවනින් යුතු සිව් දිවයින්හි අධිපතීහු වූහ යන අර්ථයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සීහාසනදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
12. ඒකත්‍ථම්භික ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් එකත්‍ථම්භ දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිවන් ලැබීමට උපකාරී වන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වන කාර්මිකයකුව එක් විභව සම්පත් ඇති කුලයෙක උපන්නේය. එසමයෙහි සියලු ශ්‍රද්ධා සම්පන්න උපාසකවරු එක්සිත්ව භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන ශාලාවක් කරමුයි දැව සඳහා වනයට පිවිස එම උපාසකයා දැක අපට එක් කණුවක් දෙවයි ඉල්ලූහ. ඔහු මේ පුවත අසා ඔබ නහමක් සිතවයි ඔවුන් හැමදෙන උනන්දුකොට එක් හරවත් කණුවක් ගෙන ශාස්තෲන් වහන්සේට පෙන්වා ඔවුන්ටම දුන්නේය. ඔහු එයින්ම හටගත් සොම්නස් ඇත්තේ එයම මුල්කොට අනික් දානාදී පින්කොට එයින් මියපරලොව ගොස් දිව්‍යලෝකයෙහි ඉපිද සදෙව්ලොවිහි නැවත නැවත දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද අග්‍රවූ සක්විති සැපත් නොයෙක් වර අනුභව කොට නොගිණිය හැකි ප්‍රදේශරාජ සම්පත්ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ශ්‍රද්ධා සම්පන්න එක් කුලයෙක උපන්නේ මව්පියන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසා පැවිදිව ලැබූ උපසම්පදාව ඇත්තේ කමටහන් ගෙන මෙනෙහි කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
ඔහු මෙසේ රහත් බවට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස යනාදිය කීය. එහි සිද්ධත්‍ථස්ස භගවතො භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ මහාපූගගණො යනු මහා උපාසක සමූහයා. අහූ විය යනු අර්ථයි. සරණං ගතාච තෙ බුද්ධං යනු බුදුන් සරණ ගියාහු, සේවනය කළාහු හෝ දත්තාහු හෝ ඔවුහු උපාසකයෝය. තථාගතං සද්දහන්ති බුදුගුණ තම සිත් සතන්හි තබති යන අර්ථයි.
සබ්බෙ සංගම්ම මන්තෙත්‍වා යනු සියලු දෙන පැමිණ එක්ව ඔවුනොවුන් දන්වා එක්සිත් ඇත්තාහු වී, මාලං උපස්ථාන ශාලාව ශාස්තෲන් වහන්සේ උදෙසා, කුබ්බන්ති කරති යන අර්ථයි. දැව රාශිය තුළ එක් කණුවක්වත් නොලබන්නාහු බ්‍රහාවනෙ මහා වනයෙහි සොයති යනු සම්බන්ධයි.