20. සුමඞ්ගල ථේර අපදාන වර්ණනාව
ආයුතිං යිට්ඨුකාමො යනාදි වශයෙන් ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මත් පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ පියදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි රුක් දෙවියෙක්ව උපන්නේය. ඔහු එක් දවසක් ශාස්තෲන් වහන්සේ පැන් සනහා එක් සිවුරක් ඇතිව සිටිනු දැක සොම්නසට පැමිණියාහු අත් පොළසන් දුන්නේය. ඔහු ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවරට නුදුරෙහි එක්තරා ගමක එබඳුම කර්ම හේතුවෙන් දිළිඳු කුලයෙක උපන්නේය. ඔහුට සුමංගල යයි නමක් විය. ඔහු වැඩිවිය පත්වූයේ පිහියා කඩු නගුල් උදලු පිරිකර ඇත්තේ ම කෘෂිකර්මයෙන් ජීවිකාව කළේය. එක් දවසක් ප්‍රසේනජිත් කෝසල රජු විසින් භාග්‍යවතුන් වහන්සේටද භික්සු සංඝයාටද මහදන් පවත්වනු ලබන කල්හි දාන උපකරණ ගෙන එන්නා වූ මිනිසුන් සමග දීකිරි කළයක් ගෙන පැමිණියේ, භික්ෂූන්ට කෙරෙන සත්කාර සම්මාන දැක මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ සියුම් වස්ත්‍ර හැඳ සුබොජුන් වළඳා නිසංසල සෙනසුන්හි වසති. මමත් පැවිදි වී වළඳන්නෙමි නම් මැනවැයි සිතා එක්තරා මහතෙර නමක් වෙත එළඹ තමාගේ පැවිදි වීමේ අදහස දැන්වීය. උන්වහන්සේ ඔහුට කරුණාව දක්වන්නාහු පැවිදිකොට කමටහන් ඇස්වූහ. ඔහු අරණෙහි වසන්නේ හුදෙකලාව විසීමේ කළකිරුණේ උකටලී වූයේ සිවුරු හැරීමට කැමැත්තේ නෑගමට යන්නේ අතරමග කැසපට බැඳ කිලිටි වස්ත්‍ර හැඳ හැමතින් දූවිලි වැකුණු සිරුරු ඇතිව වාතයෙන් අව්වෙන් සුසුම්ලමින් කෙත් හාන්නා වූ මිනිසුන් දැක මේ සත්ත්වයෝ ජීවිතය සඳහා මහත් දුකක් විඳිතියි සංවේගය ලැබුවේය. ඥානය මුහුකුරා ගිය බැවින් ගත් කමටහන එළඹ සිටියේය. ඔහු එක්තරා රුක්මුලකට ගොස් විවේක ලැබ නුවණින් මෙනෙහි කරන්නේ විදර්ශනා වඩා මාර්ග පිළිවෙලින් රහත් බවට පැමිණියේය.
මෙසේ ඔහු පැමිණි අර්හත්ඵල ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ ආහුතිං යිට්ඨුකාමොහං යනාදිය කීය. එහි ආහුතිං යනු ආහාරපානාදී අනේකවිධ වූ පූජා සත්කාරයන් සඳහා වූ උපකරණ. යිට්ඨුකාමො යනු යඥ කිරීමට කැමැත්තේ, දන්දෙනු කැමැත්තේ. අහං පටියාදෙත්වාන භොජනං යනු අහර පටියාදෙත්වා පිළියෙලකොට, බ්රාහ්මණෙ පතිමානෙන්තො යනු පිළිගන්නා වූ පිරිසිදු පැවිද්දන් සොයන්නේ, විසාලෙ මාලකෙ ඨිතො යනු පිරිසිදු සුදු වැලිතලාවෙන් අබිරම් වූ විසල් මළුවෙහි සිටියේ.
අථද්දසාසිං සම්බුද්ධං යනාදියෙහි මයාසයං මහත් පිරිවර ඇති. සබ්බලොකං සියලු සත්ව ලෝකය. විනෙතාරං විශේෂයෙන් නෙතාරං නිවනට පමුණුවන. සයම්භු තමාම වූ ගුරුවරයකු නැති. අග්ගපුග්ගලං ශ්‍රේෂ්ඨ පුද්ගලයා. භගවන්තං භාග්‍යවන්ත ආදී ගුණයෙන් යුතු, ජුතිමන්තං නීලපීත ආදී ප්‍රභාසම්පන්න වූ සාවකෙහි පුරක්ඛතං පිරිවරන ලද. ආදිච්චමිව සූර්යයා මෙන්. විරොචන්තං සෝභමාන වූ. රථියං වීදියෙහි. පටිපන්නකං වඩනා පියදස්සි නම් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දුටුවෙමියි සම්බන්ධයි. අඤ්ජලිමපග්ගහෙත්වාන යනු බැඳි ඇඳිලිය හිස්මුදුනෙහි කොට සකංචිත්තං තමාගේ සිත. පසාදයිං මෙසේ වූ භාග්‍යවතුන් වහන්සේගේ ගුණයෙහි. පසාදෙසිං පහන් කළෙමියි අර්ථයි. මනසාව නිමන්තෙසිං යනු සිතින්ම පැවරුවෙමි. ආගච්ඡතුමහාමුනී යනු ගරුකරන ලද්දේ පූජාවට සුදුසු වූයේ මුනී භාග්‍යවතුන් වහන්සේ මගේ නිවසට වඩිනු මැනවි.
මම සංකප්පමඤ්ඤාය යනු මාගේ චිත්ත සංකල්පය දැන. ලොකෙ සත්ව ලෝකයෙහි අනුත්තරො උසස් කෙනකු නැති ශාස්තෲන් වහන්සේ. ඛීණාසව සහස්සෙහි දහසක් රහතුන් විසින් පිරිවරන ලද සේක් මමද්වාරං මාගේ ගෙදොරට උපාගමි සම්ප්‍රාප්ත වූ සේක.
එසේ සපැමිණි ශාස්තෲන් වහන්සේට මෙසේ නමස්කාර කළෙමි. පුරිසාජඤ්ඤ පුරුෂයින්ට ආජඤ්ඤ ශ්‍රේෂ්ඨය මාගේ නමස්කාරය. තෙ ඔබවහන්සේට අත්ථු වේවා. පුරිසුත්තම පුරුෂයන්ට උත්තම අධික ගුණයෙන් විශිෂ්ට තෙ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. පාසාදං ප්‍රසාද ජනක වූ මාගේ නිවසට වැඩ සීහාසනෙ උතුම් අසුනෙහි ඔබවහන්සේ වැඩහිඳිනු මැනවැයි අයැද සිටියෙමි යන අර්ථයි.
දන්තො දන්ත පරිවාරො යනු මාගේ තිදොරින් දැමුණේ, එසේ දැමුණු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සංඛ්‍යාත සිව්වණක් පිරිස විසින් පිරිවරන තිණ්ණො තාරයතං වරො යනු තමා තිණ්ණො සංසාරයෙන් එගොඩ වූයේ නික්ම ගියේ තාරයතං එතෙර කරන්නා වූ විශිෂ්ට පුද්ගලයන්ට වරො උත්තම වූ භාග්‍යවතුන් වහ්නසේ මාගේ ආරාධනයෙන් ප්‍රාසාදයට නැගී පවරාසනෙ උතුම් අසුනෙහි. නිසීදි වැඩහුන් සේක. යං මෙ අත්ථි සකෙ ගෙහෙ යනු තමාගේ ගෙහි.