18. රට්ඨපාල ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තන්හි තන්හි නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ උත්පත්තියට පළමුවම හංසවතී නුවර මහාසාර කුලයෙක ඉපිද වැඩිවිය පත්වූවාහු පියාගේ ඇවෑමෙන් ගෘහවාසයෙහි පිහිටා රුවන් ගබඩාවෙහි කම්කරුවන් විසින් දක්වන ලද අප්රමාණ වූ පරම්පරාගත ධනය දැක මේ මෙපමණක් වූ ධනරාශිය මාගේ පියමුතුන් මිත්තන් ආදීහු තමා සමග ගෙන යන්ට නොහැකි වූහ. මා විසින් ගෙනයන්ට වටනේයයි සිතා දුගීමගීන්ට මහදන් දුන්හ. ඔහු එක් අභිඥාලාභී තාපසයකු කරා එළඹ ඔහු විසින් දෙව්ලොව අධිපති තනතුරෙහි නියුක්ත කරවනු ලැබුවාහු දිවි ඇති තෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව ඉපිද දිව්ය සම්පත් අනුභව කරන්නාහු එහි ආයුෂ ඇතිතාක් සිට එයින් චුතව මනුෂ්ය ලෝකයෙහි බිඳුණු රට දැරීමට සමර්ථ වූ කුලයෙක එකම පුත්රයා වී උපන්හ. එසමයෙහි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු හික්මවිය හැකි සත්ත්වයන් නිර්වාණ මහා නගර සංඛ්යාත ක්ෂේමභූමියට පැමිණවූ සේක. ඉක්බිති ඒ කුලපුත්රයා අනුක්රමයෙන් දැනමිති බවට පත්වූයේ එක් දවසක් උපාසකයන් සමග වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ දම්දෙසනු දැක පහන්වූ සිත් ඇත්තේ පිරිස් කෙළවර හුන්නේය.
එසමයෙහි ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ශ්රද්ධාවෙන් පැවිදිවූවන් අතර අගතන්හි තැබූ සේක. ඔහු එය දැක පහන්වූ සිත් ඇත්තේ සියදහසක් භික්ෂූන් පිරිවරාගත් භාග්යවතුන් වහන්සේට සත්දිනක් මහදන් දී ඒ තනතුර ප්රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අන්තරායකින් තොරව එම පැතුම ඉටුවන බව දැක මේ තෙමේ අනාගතයෙහි ගෞතම නම් සම්යක් සම්බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ශ්රද්ධාවෙන් පැවිදි වූවන් අතර අග්ර වන්නේ යයි විවරණ දුන් සේක. ඔහු ශාස්තෲන් වහන්සේද භික්ෂු සංඝයාද වැඳ ගියේය. මෙසේ දිවි ඇතිතෙක් පින්කොට එයින් චුතව දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මින් අනූදෙවැනි කල්පයෙහි ඵුස්ස භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි ශාස්තෲන් වහන්සේගේ වෛමාතෘක රාජපුත්රයන් ශාස්තෲන් වහන්සේට උපස්ථාන කරන කල්හි පුණ්යක්රියාවලදී සහායව කටයුතු කළේය. මෙසේ භවයෙහි තැනින් තැන බොහෝ කුසල් රැස්කොට සුගතීන්හිම සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුරුරට ථුල්ලකොට්ඨිත ගමෙහි රට්ඨපාල සිටුවරයාගේ ගෙහි උපන්නේය. එහි බිඳුණුරට දැරීමට සමර්ථ වූ කුලයෙක උපන් බැවින් රට්ඨපාලයයි පරම්පරානුගත නමක්ම විය. ඔහු මහපිරිවරින් වසන්නේ අනුක්රමයෙන් යොවුන් බවට පත්වූයේ මාපියන් විසින් සුදුසු බිරිඳක සමග සංභෝග කරනු ලැබුයේ මහත්වූ යසඉසුරෙහි පිහිටවනු ලැබුයේ දිව්ය සම්පත් හා සමාන සම්පත් අනුභව කරයි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ කුරුරටෙහි ජනපදචාරිකාවෙහි හැසිරෙන සේක් ථුල්ලකොට්ඨිත නියම්ගමට වැඩමකළ සේක. ඒ අසා මහා රට්ඨපාල කුලපුත්රයා ශාස්තෲන් වහන්සේ කරා එළඹ උන්වහන්සේ ධර්ම දේශනය අසා ලැබූ ශ්රද්ධාව ඇත්තේ පැවිදිවනු කැමැත්තේ සත්වරක් උපවාසකොට මහත් අසීරුතාවෙන් මව්පියන් අනුදන්වා ශාස්තෲන් වහන්සේ කරා එළඹ පැවිද්ද ඉල්ලා ශාස්තෲන් වහන්සේගේ අණින් අන් කෙනකු සමීපයෙහි පැවිදිව යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නේ විදර්ශනා වඩා රහත්බවට පත්විය. රහත්බවට පත්ව ශාස්තෲන් වහන්සේ අනුදන්වා මව්පියන් දක්නට ථුල්ලකොට්ඨිත ගමට ගොස් එහි ගෙපිළිවෙලින් පිඬුසිඟා යන්නේ පියාගේ ගෙහි පිළුණු වූ යව ආහාර ලැබ අමාවක් මෙන් වළඳන්නේ පියා විසින් නිමන්ත්රණය කරනු ලැබුයේ හෙට පිණිස දන් ඉවසා දෙවැනි දවසෙහි පියාගේ නිවසෙහි පිණ්ඩපාතය වළඳා අලංකාර කර පිළියෙල කරන ලද අන්තඃපුර ජනයා වෙත ගොස් ‘ආර්යපුත්රය, ඔබ බ්රහ්මචර්යාවෙහි හැසිරෙන්නේ කෙබඳු අප්සරාවන් සඳහාදැ’යි ආදිය කියා පොළඹවා ගැනීමක් කරන්ට පටන් ගත්විට ඇයගේ අදහස විපරිවර්තනය කරන්නේ අනිත්යාදී යුක්ත ධර්මය කියන්නේ –