17. උපසේන ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරං භගවන්තං ආදි වශයෙන් ආයුෂ්මත් උපසෙන වංගන්තපත්ත තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර කුලගෙයක ඉපිද වැඩිවිය පත්වූයේ ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක පහදවන්නවුන් අතර අගතන්හි තබනු දැක ප්‍රාර්ථනාවක් කොට එම තනතුර පතා දිවි ඇතිතාක් කුසල්කොට දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ මෙම බුද්ධෝත්පාද කාලයෙහි නාග නම් ගමෙහි රූපසාරී නම් බැමිණිය කුස උපන්නේය. ඔහුට උපසෙන යනුවෙන් නමක් විය. ඔහු වැඩිවිය පත්වූයේ වේදත්‍රය ඉගෙන ශාස්තෲන් වහන්සේගේ සමීපයෙහි ධර්මය අසා ලැබූ ශ්‍රද්ධා ඇත්තේ පැවිදිව උපසම්පදාවෙන් එක්වස් ඇත්තේ ඇදුරු පරපුර වර්ධනය කරමියි වෙනත් භික්‍ෂුවක් තමා සමීපයෙහි උපසම්පදා කොට ඔහු සමග ශාස්තෲන් වහන්සේ සමීපයට ගොස්, ශාස්තෲන් වහන්සේ ඒ වස් නැති භික්‍ෂුවගේ සද්ධිවිහාරික භාවය අසා ‘හිස් පුරුෂය, තෝ පමණට වඩා ගියේවෙහිය. එය ඉතා පහත් යයි ගර්හා කරනු ලැබූයේ දැන් මම පිරිස හමුවෙහි ශාස්තෲන් වහන්සේ විසින් ගර්හා කරනු ලැබුවේ වෙමි. පිරිස හමුවෙහිම ශාස්තෲන් වහන්සේ පහන් කරන්නෙමියි විදර්ශනාව සඳහා කටයුතු කරන්නේ නොබෝ කලකින්ම රහත්බවට පත්විය. රහත්ව තමාම සියලු ධූත ධර්මයන් සමාදන්ව ජීවත් වෙයි. අන්‍යයන්ද ඒ සඳහා සමාදන් කරවයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහු සියල්ලන් පහදවන්නවුන් අතර අගතන්හි තැබූ සේක. ඔහු පසුකලෙක කොසඹෑ නුවර කලහය හටගත් කල භික්‍ෂු සංඝයාද දෙකට බෙදුණු කල, ඒ කලහය වර්ජනය කරනු කැමැති එක් භික්‍ෂුවක් විසින් ‘දැන් කලහය ඇතිවී තිබේ. භික්‍ෂු සංඝයාද දෙකට බෙදුණේ වෙයි. අපි කෙලේස පිළිපදින්නමෝදැයි විචාරන ලද්දේ විවේක වාසයෙහි පටන් තම ප්‍රතිපත්තිය කීය. මෙසේ තෙරුන් වහන්සේ භික්‍ෂුවට ඔවදන් දෙන මුවාවෙන් තමාගේ කථාවට පිළිපන් බව පැහැදිලි කරන්නාහු රහත් බව ප්‍රකාශ කළහ.
ඔහු මෙසේ පත්වූ අගතැන් ඇත්තේ තමාගේ පූර්ව කර්මය සිහිකොට සොම්නස් වශයෙන් පූර්වචරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරං භගවන්තං ආදිය කීය. මහා පබ්භාරම්හි නිසින්නං යනු ඉදිරියෙන් බරට නමිතං නැමුණේනුයි පබ්භාර නමි. විවේක කැමතිව වනමැද ඉබේ හටගත් පර්වත ගුහාවෙහි හුන් නරෝත්තම වූ භාග්‍යවතුන් වහන්සේ වෙත. අහං උපගඤ්ජිං එළැඹියෙමි යන අර්ථයි.
කණිකාරං පුප්ඵිතං දිස්වා යනු එසේ එළඹෙන්නේ ඒ පෙදෙසෙහි මනාසේ පිපුණු කිණිහිරි ගසක් දැක වණ්ටෙ ජෙත්‍වානහං තං තදා යනු ඔහු තථාගතයන් වහන්සේ දුටුකල ඒ මල වණ්ටෙ නටුවෙන් ජෙත්‍වාන කඩා. අලංකරිත්‍වා ඡත්තම්හි යනු ඒ මලින් කුඩය අලංකාරකොට. බුද්ධස්ස අභිරොපයිං යනු ගුහාවෙහි හුන්නා වූ බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් තැබුවෙමියි අර්ථයි.
පිණ්ඩපාතං ච පාදාසිං යනු එහිම වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට පිණ්ඩපාතය වැළඳවූයෙමි යන අර්ථයි. පරමන්නං සොඳුරු බොජුන් සංඛ්‍යාත පරමන්නං උතුම් ආහාරය, බුද්ධෙන නවමෙ තත්‍ථ යනු ඒ විවේකස්ථානයෙහි බුදුරජාණන් වහන්සේ සමග නවයක් වූ මහණුන් අටනමක් වූ පව් තවාහළ කෙලෙස් නැසූ භික්‍ෂූන් වැළඳවූයෙමි යන අර්ථයි.
යං වදන්ති සුමෙධො යනු මහා ප්‍රඥා ඇති පෘථුවි සමාන ප්‍රඥා ඇති සුමේධ සුන්දර ප්‍රඥා ඇති බැවින් ප්‍රඥාවන්ත වූ යම් ගෞතම සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ සුමේධ යයිද, සුන්දර ප්‍රඥා යයිද පඬිවරු කියති. මේ කල්පයෙන් සියදහස්වැනි කල්පයෙහි මේ ගෞතම සම්‍යක් සම්බුදු රජාණන් වන සේක යන සම්බන්ධයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
උපසෙන වංගන්ත තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
18. රට්ඨපාල ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් රට්ඨපාල තෙරුන් වහන්සේගේ අපදානයයි. මේ ආයුෂ්මතුන් වහන්සේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තාහු භවයෙහි තන්හි තන්හි නිවනට හේතු වූ පින් රැස්කරන්නාහු පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ උත්පත්තියට පළමුවම හංසවතී නුවර මහාසාර කුලයෙක ඉපිද වැඩිවිය පත්වූවාහු පියාගේ ඇවෑමෙන් ගෘහවාසයෙහි පිහිටා රුවන් ගබඩාවෙහි කම්කරුවන් විසින් දක්වන ලද අප්‍රමාණ වූ පරම්පරාගත ධනය දැක මේ මෙපමණක් වූ ධනරාශිය මාගේ පියමුතුන් මිත්තන් ආදීහු තමා සමග ගෙන යන්ට නොහැකි වූහ. මා විසින් ගෙනයන්ට වටනේයයි සිතා දුගීමගීන්ට මහදන් දුන්හ. ඔහු එක් අභිඥාලාභී තාපසයකු කරා එළඹ ඔහු විසින් දෙව්ලොව අධිපති තනතුරෙහි නියුක්ත කරවනු ලැබුවාහු දිවි ඇති තෙක් පින්කොට එයින් චුතව දෙව්ලොව ඉපිද දිව්‍ය සම්පත් අනුභව කරන්නාහු එහි ආයුෂ ඇතිතාක් සිට එයින් චුතව මනුෂ්‍ය ලෝකයෙහි බිඳුණු රට දැරීමට සමර්ථ වූ කුලයෙක එකම පුත්‍රයා වී උපන්හ. එසමයෙහි පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ලොව ඉපිද පවත්වන ලද උතුම් දම්සක් ඇත්තාහු හික්මවිය හැකි සත්ත්වයන් නිර්වාණ මහා නගර සංඛ්‍යාත ක්‍ෂේමභූමියට පැමිණවූ සේක. ඉක්බිති ඒ කුලපුත්‍රයා අනුක්‍රමයෙන් දැනමිති බවට පත්වූයේ එක් දවසක් උපාසකයන් සමග වෙහෙරට ගොස් ශාස්තෲන් වහන්සේ දම්දෙසනු දැක පහන්වූ සිත් ඇත්තේ පිරිස් කෙළවර හුන්නේය.