15. පිළින්‍දිවච්ඡ ථේර අපදාන වර්ණනාව
නිබ්බුතෙ ලොකනාථම්හි ආදි වශයෙන් ආයුෂ්මත් පිළින්‍දිවච්ඡ තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයෙක උපන්නේ යට කියන ලද පරිදි ශාස්තෲන් වහන්සේ සමීපයෙහි දහම් අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක දෙවියන්ට ප්‍රියමනාප බැවින් අගතන්හි තබනු දැක ඒ තනතුර පතා දිවි ඇතිතාක් කුසල්කොට එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි කුලගෙයක උපන්නේය. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි උන්වහන්සේගේ ස්ථූපය පූජාකොට සංඝයාට මහදන් පවත්වා එයින් චුතව දෙවි මිනිසුන් අතර උභයසම්පත් අනුභවකොට බුදුන් නූපන් කල්හි සක්විති රජව මහජනයා පන්සිල්හි පිහිටුවා ස්වර්ග පරායණය කළේය. ඔහු අපගේ භාග්‍යවතුන් වහන්සේ නූපන් කල්හිම සැවැත්නුවර බමුණු කුලයෙක උපන්නේය. පිළින්දිතිස්ස යනුවෙන් නම්කළහ. වච්ඡ යනු ගෝත්‍රයයි. ඔහු පසුකලෙක පිළින්‍දිවච්ඡ යනුවෙන් ප්‍රසිද්ධ විය. සසර සැරිසැරීමෙන් සංවේග බහුකතාව නිසා පිරිවැජි පැවිද්දෙන් පැවිදිව චුල්ලගන්ධාර නම් විද්‍යාවක් උගෙන ඒ විද්‍යාවෙන් අහස්හි හැසිරෙන්නෙක්වද අනුන් සිත් දන්නෙක්වද රජගහනුවර ලාභයෙන්ද යසසින්ද අගතැන්පත් වූයේ වාසය කරයි.
ඉක්බිති අපගේ භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පත්ව පිළිවෙලින් රජගහනුවරට පැමිණි සේක. එතැන් පටන් බුද්ධානුභාවයෙන් ඔහුට ඒ විද්‍යාව පල නොදරයි. තමාගේ කාර්ය සාර්ථක නොවෙයි. ඔහු මෙසේ සිතීය. ආචාර්ය ප්‍රාචාර්යයන් මෙසේ කියනු අසා ඇත. යම්තැනක මහා ගන්ධාර විද්‍යාව පවතීද එතැන චුල්ලගන්ධාර විද්‍යාව පල නොදරයි. ශ්‍රමණ භවත් ගෞතමයන් පැමිණි කල් පටන් මාගේ මෙම විද්‍යාව පල නොදරයි. නිසැකයෙන්ම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මහාගන්ධාර විද්‍යාව දන්නා සේක. මම උන්වහන්සේ ආශ්‍රයකොට උන්වහන්සේ සමීපයෙහි එම විද්‍යාව හදාරන්නේ නම් මැනවි. ඔහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීය. ‘ශ්‍රමණය, මම ඔබගේ සමීපයෙහි ඒ විද්‍යාව හදාරනු කැමැත්තෙමි. මට අවකාශයක් දෙව’යි. එසේනම් මා සමීපයෙහි පැවිදිවෙවයි කී සේක. හෙතෙමේ පිළියම පැවිද්දයයි සිතන්නේ පැවිදිවිය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට ධර්මය කියාදී චරිතානුකූල කමටහනක් දුන් සේක. ඔහු හේතුසම්පත් ඇති බැවින් නොබෝ කලෙකින්ම විදර්ශනාව පිහිටුවා රහත් බවට පත්විය.
යම් දෙවිකෙනෙක් පෙර ජාතියෙහි ඔහුගේ අවවාදයෙහි සිට දෙව්ලොව උපන්නාහුද ඒ දේවතාවෝ ඒ කෘතඥතාව නිසා ඔහු කෙරෙහි හටගත් බුහුමන් ඇත්තාහු උදේ සවස තෙරුන් වහන්සේ ආශ්‍රයකොට යෙති. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ ඔහු දෙවියන් අතිශයින් ප්‍රියමනාප බැවින් යුතු බැවින් අගතන්හි තැබූ සේක. ‘මහණෙනි, මාගේ ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් දෙවියන්ට ප්‍රියමනාප වෙත්ද ඒ පිළින්‍දිවච්ඡය’යි මෙසේ පැමිණි අගතැන් ඇත්තේ ඔහු තමාගේ පූර්ව කර්මය සිහිකොට ප්‍රීති සොම්නස් වශයෙන් පූර්ව චරිතාපදානය ප්‍රකාශ කරන්නේ නිබ්බුතෙලොකනාථම්හි යනාදිය කීය.
එහි කාමරූප අරූප ලෝකයට නාථවූයේ ප්‍රධානවූයේනුයි ලෝකනාථ නම්වෙයි. මෙධා යනුවෙන් සර්වඥතාඤාණය කියැවෙයි. අනාවරණ ඥාන ආදී වූ සුන්දර වූ ප්‍රශස්ත වූ හෝ සර්වඥතාඥානයක් යමකුට වේද හේ සුමේධ නම් වේ. අග්‍රවේද පුද්ගල වූයේද අග්‍රපුද්ගල නමි. සුමේධ වූ ලෝකනායක වූ අග්‍රපුද්ගලයා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑ කල්හි යනු සම්බන්ධයි. පසන්න චිත්තො සුමනො යනු ශ්‍රද්ධාවෙන් පහන්කළ සිත් ඇත්තේ සොම්නසින් සුන්දර මනසින් යුතු වූ මම ඒ සුමේධ භාග්‍යවතුන් වහන්සේගේ ථූපපූජං චෛත්‍ය පූජාව කෙළෙමි යන අර්ථයි.
යෙව ඛීණාසවා තත්‍ථ යනු ඒ සමාගමයෙහි යම් ඛීණාසවා නැසූ කෙලෙස් ඇත්තාහු. ඡළභිඤ්ඤා අභිඥා සයෙන් යුක්ත වූවාහු මහිද්ධිකා මහා සෘද්ධීන් යුක්ත වූවාහු. ඒ සියලු ක්‍ෂීණාශ්‍රවයන් මම මෙහි සමානෙත්‍වා මනා ආදරයෙන් ගෙනවිත් සංඝ භත්තං සියලු සංඝයාට දියයුතු දන් අකාසිං ඔවුන් වැළඳවූයෙමි යන අර්ථයි.