14. චුල්ලපන්‍ථක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරො නාමජිනො යනාදි වශයෙන් ආයුෂ්මත් චුල්ලපන්‍ථක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතු වූ පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි යමක් මෙහි අර්ථෝත්පත්ති වශයෙන් කිවයුතුද එය පළමුව අෂ්ටක නිපාතයෙහි මහාපන්‍ථක වස්තුවෙහිදී කියන ලද්දේමය. විශේෂය මෙපමණමය. මහාපන්‍ථක තෙරුන් වහන්සේ රහත්බවට පත්ව ඵලසමාපත්ති සුඛයෙන් දවසරින්නේ මෙසේ සිතූ සේක. ‘කෙසේද චුල්ලපන්ථකද මේ සැපයෙහි පිහිටුවන්නට හැක්කේ’ යනුවෙන් උන්වහන්සේ තම මුත්තණුවන් වූ ධන සිටුවරයා වෙත එළඹ මෙසේ කීහ. යම්හෙයකින් මහ සිටුවරයා අනුදන්නේ නම් මම චුල්ලපන්‍ථක පැවිදි කරන්නෙමි’. ‘ස්වාමීනි, පැවිදි කරන්න’. තෙරුන් වහන්සේ ඔහු පැවිදි කළ සේක. ඔහු දසසිල්හි පිහිටියේ සහෝදරයා හමුවෙහි
පදුමං යථා කොකනදං සුගන්‍ධං, පාතො සියා ථුල්ලමවීත ගන්‍ධං,
අංගීරසං පස්ස විරොචමානං, තපන්ත මාදිච්ච මිවන්ත ලික්ඛෙ
සුවඳැති රත් පියුමක් සේ - උදෑසන පිපී සුවඳ හමනා
බලව දිදුලන බුදුරදුන් දෙස - අහස්කුස දිලෙන හිරු සේ
ගාථාව ඉගෙන ගන්නේ සිව් මසෙකින් ඉගෙනීමට නොහැකි විය. උගත් දෙය හෘදයෙහි නොසිටී. ඉක්බිති මහාපන්ථක තෙමේ “චුල්ලපන්ථක, ඔබට මේ සසුන සුදුසු නැත. සිව් මසෙකින් එක් ගාථාවක්වත් ඉගෙනීමට නොහැකි වූයෙහිය. පැවිදිකිස කෙසේ නම් මුදුන්පමුණුවා ගන්නෙහිද. මෙයින් නික්මී යව. තෙරුන් විසින් නෙරපා දමනු ලැබූ ඔහු දොර කොටුව සමීපයෙහි හඬමින් සිටියේය.
එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ජීවකගේ අඹවනයෙහි වාසය කරන සේක. ඉක්බිති ජීවක තෙමේ පුරුෂයකු යැවීය. “යව, පන්සියයක් භික්‍ෂූන් සමග ශාස්තෲන් වහන්සේට ආරාධනා කරව”යි. එකල්හි ආයුෂ්මත් මහාපන්ථක තෙරුන්වහන්සේ දාන අධිකාරී වෙති. හෙතෙමේ ‘පන්සියයක් භික්‍ෂූන්ට භික්ෂාව පිළිගනු මැනැවයි කියනු ලැබුවාහු චුල්ලපන්ථක හැර සෙසු භික්‍ෂූන්ට පිළිගනිමියි කීහ. ඒ අසා චුල්ලපන්ථක තෙමේ බෙහෙවින් දොම්නසට පැමිණියේ විය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ සිතෙහි හැසිරීම දැන චුල්ලපන්ථක මා විසින් කරන ලද උපායෙන් අවබෝධ කරගන්නේ යයි ඔහුට නුදුරු තැන තමා දක්වා කිමෙක්ද පන්ථක හඬන්නෙහිදැයි ඇසූ සේක. ස්වාමීනි, සොහොයුරා මා නෙරපතීයි කීය. පන්ථක නහමක් සිතව, ඔබගේ පැවිද්ද මාගේ සසුනෙහිය. එන්න මෙය ගෙන ‘රජොහරණං, රජොහරණං’ යනුවෙන් සිත්හි තබා ගනුවයි සෘද්ධියෙන් පිරිසිදු රෙදිකඩක් මවාදුන් සේක. ඔහු ශාස්තෲන් වහන්සේ විසින් දෙන ලද රෙදිකඩ රජොහරණං රජොහරණං යනුවෙන් අතින් පිරිමදින්නේ හුන්නේය. ඔහු එය පිරිමදිද්දී කිලිටි විය. නැවත පිරිමදිනවිට ඉඳුල් පිස්නාවක් මෙන් විය. ඔහු ඥානය මුහුකුරා ගිය හෙයින් මෙසේ සිතීය. මේ රෙදිකඩ ප්‍රකෘතියෙන් පිරිසිදුය. මේ කර්මයෙන් හටගත් සිරුර නිසා කිලිටි විය. වෙනස් විය. ඒ නිසා මෙයද අනිත්‍යයි. මෙසේ සිතට ප්‍රීති ක්‍ෂයව්‍යය එළවාගෙන එම නිමිත්තෙහිම ධ්‍යාන උපදවා ධ්‍යානපාදක කොට විදර්ශනා පිහිටුවා පිළිසිඹියා සහිත රහත් බවට පැමිණියේය. රහත්බවට පත් ඔහුට ත්‍රිපිටකය අභිඥාපස පැමිණියේය.
ශාස්තෲන් වහන්සේ එකක් අඩු පන්සියයක් භික්‍ෂූන් සමග වැඩ ජීවකගේ නිවසෙහි පැනවූ අසුනෙහි හුන් සේක. චුල්ලපන්‍ථක වනාහි තමා භික්‍ෂාව සඳහා නොපිළිගනු ලැබූ හෙයින්ම නොගියේ විය. ජීවක කැඳ පිළිගන්වන්නට ආරම්භ කෙළේය. ශාස්තෲන් වහන්සේ අතින් පාත්‍රය වැසූ සේක. ස්වාමීනි, කුමක් නිසා නොපිළිගන්නහුදැයි ඇසූකල්හි ජීවක වෙහෙරෙහි එක් භික්‍ෂුවක් ඇතැයි කී සේක. හේ එක් පුරුෂයකු යැවීය. යව ඔහු ගෙනෙවයි චුල්ලපන්‍ථක තෙරුන් වහන්සේද රූපයෙන්ද ක්‍රියාවෙන්ද එකිනෙකාට අසමාන භික්‍ෂූන් දහසක් මවා හුන්හ. ඒ පුරුෂයා විහාරයෙහි භික්‍ෂූන් බොහෝ දෙනකු දැක ජීවකට කීය. මේ භික්‍ෂු සංඝයාට වඩා විහාරයෙහි භික්‍ෂු සංඝයා බහුතරය. කැඳවිය යුතු ආර්යයන් වහන්සේ නොදනිමි. ජීවක ශාස්තෲන් වහන්සේ විචාළේය. ස්වාමීනි විහාරයෙහි හුන් භික්‍ෂුව කවර නම් ඇත්තේද. චුල්ලපන්‍ථක නම්ය. දරුව, යව. චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි විමසා ඔහු ගෙන එව. ඔහු විහාරයට ගොස් ස්වාමීනි චුල්ලපන්‍ථක නම් කවරෙක්දැයි ඇසීය. මම චුල්ලපන්‍ථක. මම චුල්ලපන්‍ථක යයි එකපැහැර දහසක් භික්‍ෂූහු කතාකළහ. ඔහු නැවත අවුත් ඒ පුවත ජීවකට දැන්වීය. ජීවක අවබෝධ කරගත් සත්‍ය ඇති බැවින් ආර්යයන් වහන්සේ සෘද්ධි ඇත්තෙකැයි සිතමියි නය වශයෙන් දැන දරුව යව, පළමුව කථාකරන ආර්යයන් වහන්සේම ශාස්තෲන් වහන්සේ ඔබවහන්සේ කැඳවතියි සිවුරු කොණින් ගනුවයි කීය. ඔහු විහාරයට ගොස් එසේ කළේය. එකෙණෙහිම මැවුණු භික්‍ෂූහු අතුරුදහන් වූහ. ඔහු තෙරුන් වහන්සේ ගෙන ගියේය.
ශාස්තෲන් වහන්සේ එකෙණෙහි කැඳ කැවිලි ආදී දේ පිළිගත් සේක. කරන ලද බත්කිස ඇතිසේක් භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරවයි චුල්ලපන්‍ථකට අණකළ සේක. ඔහු දියුණු කළ පටිසම්භිදා ඇත්තේ මහාමේරුව ගෙන මහසමුදුර මත්ගාන්නක් මෙන් ත්‍රිපිටක බුද්ධවචනය කළඹමින් ශාස්තෲන් වහන්සේගේ අධ්‍යාශය ගෙන අනුමෝදනාව කළේය. දසබලධාරී බුදුරජාණන් වහන්සේ කරන ලද බත්කිස ඇතිසේක් විහාරයට වැඩිකල්හි දම්සභාවෙහි කථාවක් උපන්නේය. බුදුවරුන්ගේ ආනුභාවය පුදුමයි. යම්තැනෙක වනාහි සිව්මසෙකින් එක් ගාථාවක්වත් ඉගෙනීමට නොහැකි වූවකු සුළු මොහොතකින්ම මෙසේ මහා සෘද්ධි ඇත්තකු කළ සේක. එසේ ජීවකගේ නිවසෙහි හුන්සේක් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ අයුරින් චුල්ලපන්‍ථකගේ සිත සන්සුන් කරන ලදි. විදර්ශනා මාර්ගයට පිළිපන්නේ යයි දැන තමා හුන් පරිද්දෙන්ම දක්වා පන්‍ථක, මේ රෙදිකඩ කිලිටි වූයේ දූවිල්ලෙන් යුතුවූයේ පමණක් නොව, මින් වනාහි ආර්ය විනයෙහි වෙනත් කිලිටිද දූවිලි යයි දක්වන්නේ –