13. නන්ද ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති භික්ෂූන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර පතන්නේ භාග්‍යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට පූජා සත්කාර බහුල මහදන් පවත්වා ‘ස්වාමීනි, මම අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුන්ගේ මෙවැනි ශ්‍රාවකයෙක් වන්නෙමි’යි ප්‍රාර්ථනයක් කළේය.
ඔහු එතැන් සිට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ අත්ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධම්මතා නම් නදියෙහි මහ කැස්බකු වී උපන්නේ එක්දවසක් ශාස්තෲන් වහන්සේ නදියෙන් එතරවනු පිණිස ඉවුරෙහි සිටිනු දැක තමා භාග්‍යවතුන් වහන්සේ තරණය කරනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේගේ පාමුල වැදහොත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අධ්‍යාශය දැන පිටට නැගි සේක. ඔහු තුටුපහටුව වේගයෙන් සැඩ දියපහර සිඳිමින් වඩාත් ඉක්මණින් එගොඩට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෙවෙනි කියනසේක් විය හැකි සම්පත් වදාරා වැඩි සේක.
එදා එම පුණ්යකර්මයෙන් සුගතීන්හි පමණක් සැරිසරන්නේ අපගේ මෙම භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි කපිලවස්තු නුවර සුදොවුන් මහරජුගේ අගමෙහෙසී වූ මහා ප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි උපන්නේය. ඔහුට නම්තබන දවසෙහි ඥාති සමූහයා සතුටු කරමින් උපන්නේ යයි නන්ද යනුවෙන්ම නමක් තැබූහ. ඔහු වැඩිවිය පත් කල්හි භාග්‍යවතුන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකයාට අනුග්‍රහ කරමින් පිළිවෙලින් කපිලවස්තු නුවරට වැඩ ඥාති සමාගමයෙහි පොකුරුවැස්ස නිදානය කොට වෙස්සන්තර ජාතකය දෙසා වදාරා, දෙවැනි දවසෙහි පිඬු පිණිස පිවිස ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය’ යන ගාථාවෙන් පියාණන් සෝවාන් ඵලයෙහි පිහිටුවා නිවසට වැඩ ‘ධම්මංචරෙ සුචරිතං’ යන ගාථාවෙන් මහා ප්‍රජාපතිය සෝවාන් ඵලයෙහි ද සකෘදාගාමි ඵලයෙහි ද පිහිටුවා තෙවැනි දවසෙහි නන්ද කුමාරයාගේ අභිෂේක, ගෘහප්‍රවේශ ආවාහ මංගල්‍යයන් පවතිද්දී පිඬු පිණිස පිවිසි සේක. ශාස්තෲන් වහන්සේ නන්ද කුමරුගේ අතට පාත්‍රය දී මඟුල් කියා ඔහු අතින් පාත්‍රය නොගෙනම විහාරයට වැඩි සේක. ඔහු පාත්‍රය අතැතිව විහාරයට පැමිණියහු අකමැති වද්දීම පැවිදි කළ සේක. එසේ පැවිදි වූ නිසාම අනභිරතියෙන් පීඩා විඳින්නහු දැන උපායෙන් ඔහුගේ ඒ අනභිරතිය නැතිකළ සේක. ඔහු නුවණින් මෙනෙහිකොට විදර්ශනා උපදවා නොබෝ කලෙකින්ම රහත්බවට පත්වීය. තෙරුන්වහන්සේ නැවත දිනෙක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීහ. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ වැනි පා ඇති අප්සරාවන් පන්සියයක් මාහට ලබාදෙන බවට යම් ඇපයක් වූ සේක්ද, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ මම ඇපයෙන් මුදවමි’. භාග්‍යවතුන් වහන්සේද ‘යම්සේ නන්ද, උපාදානයන්ගෙන් තොරව කෙලෙසුන්ගෙන් සිත මිදුණේ ද, එසේනම් මම මෙම ඇපයෙන් මිදුණේ වෙමි’යි කී සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති බව විශේෂයෙන් දැන ඒ ගුණය පැහැදිලි කරන සේක් මහණෙනි, මාගේ ඉන්ද්රියයන්හි මුවහකළ දොර ඇති ශ්‍රාවක භික්ෂූන් අතර යමෙක් අග්‍රවේද ඒ ‘නන්ද’ යයි ඉන්ද්රියයන්හි මුවහ කළ දොර ඇති බැවින් අගතන්හි තැබූ සේක. තෙරුන්වහන්සේ වනාහි ඉන්ද්රියයන්ගේ අසංවරය නිසා මෙම විප්‍රකාරයට පත්වූයෙමි. මම එය මනාසේ නිග්‍රහ කරන්නෙමියි හටගත් උත්සාහ ඇතිව බලවත් හිරි ඔත්තප්පයෙන් යුතුව එහිම කරන ලද උත්සාහ ඇති බැවින් ඉන්ද්රිය සංවරයෙහි උසස් පාරමිතාවට පැමිණි සේක.
මෙසේ ඔහු අගතැන්පත්ව තමාගේ පෙර කර්මය සිහිකොට සොම්නසට පැමිණියේ පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ පදුමුත්තරස්ස භගවතො ආදිය කීය. වත්ථං ඛොමං මයා දින්නං යනු බෝම රටෙහි උපන් වස්ත්‍රය භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත් පැහැදීමෙන් ගරුබුහුමනින් මා විසින් අතිශයින් සියුම් වූ බෝම වස්ත්‍රය දෙන ලදී යන අර්ථයි. සයම්භුස්ස යනු තමාම භුතස්ස උපන් ආර්ය ජාතියෙහි උපන් මහෙසිනො මහත් වූ සීල සමාධි පඤ්ඤා විමුත්තිඤාණ දස්සන ස්කන්ධයන් එසි සෙවීයයි මහේසී නම්. ඒ මහේසී වූ ස්වයංභූ වූ භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු පිණිස බෝම වස්ත්‍රයක් මා විසින් දෙනලදැයි යන සම්බන්ධයි.
තංමෙ බුද්ධො වියාකාසී යනු මෙහි තං යනු සාම්යර්ථයෙහි යෙදෙන වචනයකි. ඒ වස්ත්‍රදායක වූ මාගේ දානඵලයෙහි විසෙසෙ අකාසි බුදුරජාණන් වහන්සේ වදාළ සේක යන අර්ථයි. ජලජූත්තමනාමකො යනු පදුමුත්තර නම් ඇත්තේ. ජලජූත්තම නායකො යනුවෙන්ද පාඨයක් ඇත්තේය. උන්වහන්සේට බැබලෙන දෙවි මිනිසුන්ගේ උත්තමනායකො ප්‍රධාන වූ යන අර්ථයි. ඉමිනා වත්ථදානෙන යනු මේ දානයෙහි විපාකයෙන් ඔබ අනාගතයෙහි හෙමවණ්ණො රන්වන් වන්නෙහිය.
දෙව සම්පත්ති අනුහොත්වා යනු දිව්‍ය මනුෂ්‍ය සංඛ්‍යාත වූ සම්පත්තිද්වය අනුභවකොට. කුසලමූලෙහි චොදිනො යනු කුසල අවයවයන්ගෙන් කුසල කොටස්වලින් චොදිතො මෙහෙයවනු ලැබූ ඔබ මේ පිනින් ශාස්තෲන් වහන්සේගේ කුලයෙහි උපදිතියි මෙහෙවන ලද්දේ වනැයි යන අර්ථයි. ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ කණිටු සොහොයුරා ඔබ වන්නෙහි යයි ප්‍රකාශ කළේය යන සම්බන්ධයි.
රාගරත්තො සුබසීලො ක්ලේශකාමයන්හි ඇළුණේ කායසුඛ චිත්තසුඛ අනුභව කරන ස්වභාව ඇත්තේ, කාමෙසුගෙධමායුතො යනු වස්තු කාමයන්හි ගේධ සංඛ්‍යාත වූ තෘෂ්ණාවෙන් ආයුතො යුක්තවූයේ යන අර්ථයි. බුද්ධෙන චොදිතො සන්තො තතො ත්වං යම්හෙයකින් කාමයන්හි ගැලුණේ තතො එයින් ත්වං තමාගේ සහෝදරයා වූ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් චොදිතො පැවිද්ද කෙරෙහි යොදවා උන්වහන්සේ සමීපයෙහි පැවිදි වන්නෙහිය යන සම්බන්ධයි.
පබ්බජිත්වාන ත්වං තත්ථ ඒ ගෞතම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි ඔබ පැවිදිව කුසලමූලෙන මූලභූත වූ කුසල සම්භාරයෙන් චොදිතො භාවනාවෙහි යොදවන ලද්දේ සබ්බාසවෙ සියලු කෙලෙස් පරිඤ්ඤාය දැන අත්හැර අනාමයො නිදුක් වූයේ නිබ්බායිස්සති නොපෙනෙන බවට පමුණුවන්නෙහිය. නොපෙනෙන බවට යන්නේය යන අර්ථයි.
සතකප්ප සහස්සම්හි මේ කල්පයට පෙර එක්දහස් එකසිය කල්පයෙහි චෙල නමින් සක්විති රජවරු සතරදෙනෙක් වූහ යන අර්ථයි. සට්ඨිකප්ප සහස්සානි කල්ප එක්දහස් සැටක් ඉක්මවා යට එක් කල්පයක උපචාල නම් සතර දෙනෙක් ජාති සතරක වූහ යන අර්තයි.