12. ඒකත්‍ථම්භික ථේර අපදාන වර්ණනාව
සිද්ධත්‍ථස්ස භගවතො යනාදි වශයෙන් ආයුෂ්මත් එකත්‍ථම්භ දායක තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තන්හි නිවන් ලැබීමට උපකාරී වන පින් රැස්කරන්නේ සිද්ධාර්ථ භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි වන කාර්මිකයකුව එක් විභව සම්පත් ඇති කුලයෙක උපන්නේය. එසමයෙහි සියලු ශ්‍රද්ධා සම්පන්න උපාසකවරු එක්සිත්ව භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන ශාලාවක් කරමුයි දැව සඳහා වනයට පිවිස එම උපාසකයා දැක අපට එක් කණුවක් දෙවයි ඉල්ලූහ. ඔහු මේ පුවත අසා ඔබ නහමක් සිතවයි ඔවුන් හැමදෙන උනන්දුකොට එක් හරවත් කණුවක් ගෙන ශාස්තෲන් වහන්සේට පෙන්වා ඔවුන්ටම දුන්නේය. ඔහු එයින්ම හටගත් සොම්නස් ඇත්තේ එයම මුල්කොට අනික් දානාදී පින්කොට එයින් මියපරලොව ගොස් දිව්‍යලෝකයෙහි ඉපිද සදෙව්ලොවිහි නැවත නැවත දිව්‍ය සම්පත් අනුභවකොට මිනිසුන් අතරද අග්‍රවූ සක්විති සැපත් නොයෙක් වර අනුභව කොට නොගිණිය හැකි ප්‍රදේශරාජ සම්පත්ද අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි ශ්‍රද්ධා සම්පන්න එක් කුලයෙක උපන්නේ මව්පියන් සමග භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසා පැවිදිව ලැබූ උපසම්පදාව ඇත්තේ කමටහන් ගෙන මෙනෙහි කරන්නේ නොබෝ කලකින්ම රහත් විය.
ඔහු මෙසේ රහත් බවට පත්වූයේ තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පෙර චරිතාපදානය ප්‍රකාශ කරන්නේ සිද්ධත්‍ථස්ස යනාදිය කීය. එහි සිද්ධත්‍ථස්ස භගවතො භාග්‍යවත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ මහාපූගගණො යනු මහා උපාසක සමූහයා. අහූ විය යනු අර්ථයි. සරණං ගතාච තෙ බුද්ධං යනු බුදුන් සරණ ගියාහු, සේවනය කළාහු හෝ දත්තාහු හෝ ඔවුහු උපාසකයෝය. තථාගතං සද්දහන්ති බුදුගුණ තම සිත් සතන්හි තබති යන අර්ථයි.
සබ්බෙ සංගම්ම මන්තෙත්‍වා යනු සියලු දෙන පැමිණ එක්ව ඔවුනොවුන් දන්වා එක්සිත් ඇත්තාහු වී, මාලං උපස්ථාන ශාලාව ශාස්තෲන් වහන්සේ උදෙසා, කුබ්බන්ති කරති යන අර්ථයි. දැව රාශිය තුළ එක් කණුවක්වත් නොලබන්නාහු බ්‍රහාවනෙ මහා වනයෙහි සොයති යනු සම්බන්ධයි.
තෙහං අරඤ්ඤෙදිස්වාන යනු මම එම උපාසකවරුන් වනයෙහිදී දැක ගණං සමූහය උපගම්ම සමීපයට ගොස් අඤ්ජලිම්පග්ගහෙත්‍වා දසැඟිලි එක්කොට ඇඳිලිය හිසෙහිකොට අහං ගණං උපාසක සමූහය. තොපි මේ වනයට කුමක් සඳහා පැමිණියාහුද, තදා එකල්හි විචාරති යනු සම්බන්ධයි.
ඒ සිල්වත් උපාසකවරු මෙ මා විසින් විචාරණ ලද්දාහු අපි ශාලාවක් කරනු කැමැත්තෝ ව අප විසින් එක් කණුවක්වත් නොලැබෙතියි ප්‍රකාශ කළහ. විශේෂයෙන් කියූහ යනු සම්බන්ධයි.
මමං මාහට එකත්‍ථම්හංදෙථ අහං එය ශාස්තෲන් වහන්සේට දෙන්නෙමි. මම සමීපයට කණුව ගෙනෙන්නෙමි. ඒ පින්වත්හු කනුව ගෙන ඒමේ අල්ප වූ උනන්දුවක් ඇත්තෝ උත්සාහ නැත්තෝ වෙත්වායි සම්බන්ධයි.
යං යං යොනුපජ්ජාමි යනු කිසියම් කිසියම් යොනිං දේවත්වයකට. ඉක්බිති මනුෂ්‍යත්වයකට එළඹෙමි යන අර්ථයි. අනාගත අර්ථයෙහි යෙදෙන වචනයෙකි. යම් යම් දෙව්ලොවක හෝ මනුෂ්‍ය ලෝකයෙහි හෝ යන අර්ථයි. සෙස්ස නොගැඹුරු අරුත් ඇත්තේමය.
එකත්‍ථම්භදායක තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
13. නන්‍ද ථේර අපදාන වර්ණනාව
පදුමුත්තරස්ස භගවතො ආදි වශයෙන් ආයුෂ්මත් නන්ද තෙරුන් වහන්සේගේ අපදානයයි. මොහුද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි ඒ ඒ තැන නිවනට හේතු වූ පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර එක් කුලයක ඉපිද දැනමිති බවට පැමිණියේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ධර්මය අසන්නේ ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක ඉන්‍ද්‍රියයන්හි මුවහ කළ දොර ඇති භික්‍ෂූන් අතර අගතන්හි තබනු දැක තමාද ඒ තනතුර පතන්නේ භාග්‍යවතුන් වහන්සේට හා භික්‍ෂු සංඝයාට පූජා සත්කාර බහුල මහදන් පවත්වා ‘ස්වාමීනි, මම අනාගතයෙහි ඔබවහන්සේ වැනි බුදුකෙනෙකුන්ගේ මෙවැනි ශ්‍රාවකයෙක් වන්නෙමි’යි ප්‍රාර්ථනයක් කළේය.
ඔහු එතැන් සිට දෙව්මිනිසුන් අතර සැරිසරන්නේ අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි ධම්මතා නම් නදියෙහි මහ කැස්බකු වී උපන්නේ එක්දවසක් ශාස්තෲන් වහන්සේ නදියෙන් එතරවනු පිණිස ඉවුරෙහි සිටිනු දැක තමා භාග්‍යවතුන් වහන්සේ තරණය කරනු කැමැත්තේ ශාස්තෲන් වහන්සේගේ පාමුල වැදහොත්තේය. ශාස්තෲන් වහන්සේ ඔහුගේ අධ්‍යාශය දැන පිටට නැගි සේක. ඔහු තුටුපහටුව වේගයෙන් සැඩ දියපහර සිඳිමින් වඩාත් ඉක්මණින් එගොඩට පැමිණවීය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට අනුමෙවෙනි කියනසේක් විය හැකි සම්පත් වදාරා වැඩි සේක.
එදා එම පුණ්‍යකර්මයෙන් සුගතීන්හි පමණක් සැරිසරන්නේ අපගේ මෙම භාග්‍යවතුන් වහන්සේ උපන් කල්හි කපිලවස්තු නුවර සුදොවුන් මහරජුගේ අගමෙහෙසී වූ මහා ප්‍රජාපතී ගෞතමියගේ කුසෙහි උපන්නේය. ඔහුට නම්තබන දවසෙහි ඥාති සමූහයා සතුටු කරමින් උපන්නේ යයි නන්ද යනුවෙන්ම නමක් තැබූහ. ඔහු වැඩිවිය පත් කල්හි භාග්‍යවතුන් වහන්සේ පවත්වන ලද උතුම් දම්සක් ඇතිසේක් ලෝකයාට අනුග්‍රහ කරමින් පිළිවෙලින් කපිලවස්තු නුවරට වැඩ ඥාති සමාගමයෙහි පොකුරුවැස්ස නිදානය කොට වෙස්සන්තර ජාතකය දෙසා වදාරා, දෙවැනි දවසෙහි පිඬු පිණිස පිවිස ‘උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්‍ය’ යන ගාථාවෙන් පියාණන් සෝවාන් ඵලයෙහි පිහිටුවා නිවසට වැඩ ‘ධම්මංචරෙ සුචරිතං’ යන ගාථාවෙන් මහා ප්‍රජාපතිය සෝවාන් ඵලයෙහි ද සකෘදාගාමි ඵලයෙහි ද පිහිටුවා තෙවැනි දවසෙහි නන්ද කුමාරයාගේ අභිෂේක, ගෘහප්‍රවේශ ආවාහ මංගල්‍යයන් පවතිද්දී පිඬු පිණිස පිවිසි සේක. ශාස්තෲන් වහන්සේ නන්ද කුමරුගේ අතට පාත්‍රය දී මඟුල් කියා ඔහු අතින් පාත්‍රය නොගෙනම විහාරයට වැඩි සේක. ඔහු පාත්‍රය අතැතිව විහාරයට පැමිණියහු අකමැති වද්දීම පැවිදි කළ සේක. එසේ පැවිදි වූ නිසාම අනභිරතියෙන් පීඩා විඳින්නහු දැන උපායෙන් ඔහුගේ ඒ අනභිරතිය නැතිකළ සේක. ඔහු නුවණින් මෙනෙහිකොට විදර්ශනා උපදවා නොබෝ කලෙකින්ම රහත්බවට පත්වීය. තෙරුන්වහන්සේ නැවත දිනෙක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මෙසේ කීහ. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පරෙවියන්ගේ වැනි පා ඇති අප්සරාවන් පන්සියයක් මාහට ලබාදෙන බවට යම් ඇපයක් වූ සේක්ද, ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ මම ඇපයෙන් මුදවමි’. භාග්‍යවතුන් වහන්සේද ‘යම්සේ නන්ද, උපාදානයන්ගෙන් තොරව කෙලෙසුන්ගෙන් සිත මිදුණේ ද, එසේනම් මම මෙම ඇපයෙන් මිදුණේ වෙමි’යි කී සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ ඉන්ද්‍රියයන්හි මුවහ කළ දොර ඇති බව විශේෂයෙන් දැන ඒ ගුණය පැහැදිලි කරන සේක් මහණෙනි, මාගේ ඉන්ද්‍රියයන්හි මුවහකළ දොර ඇති ශ්‍රාවක භික්‍ෂූන් අතර යමෙක් අග්‍රවේද ඒ ‘නන්ද’ යයි ඉන්ද්‍රියයන්හි මුවහ කළ දොර ඇති බැවින් අගතන්හි තැබූ සේක. තෙරුන්වහන්සේ වනාහි ඉන්ද්‍රියයන්ගේ අසංවරය නිසා මෙම විප්‍රකාරයට පත්වූයෙමි. මම එය මනාසේ නිග්‍රහ කරන්නෙමියි හටගත් උත්සාහ ඇතිව බලවත් හිරි ඔත්තප්පයෙන් යුතුව එහිම කරන ලද උත්සාහ ඇති බැවින් ඉන්ද්‍රිය සංවරයෙහි උසස් පාරමිතාවට පැමිණි සේක.