117. බුද්ධසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
යදා විපස්සි ලොකග්ගො යනාදි වශයෙන් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස් කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් බූමාටු විමනක දෙවි පුතෙක් ව උපන්නේය. එකල විපස්සි භාග්යවතුන් වහන්සේ ආයු සංස්කාරය හළ සේක. සියලු දසදහසක් ලෝකධාතුද චතුස්සාගරද බුද්ධ සඤ්ඤක පර්වතද ප්රකම්පනය විය. එදා දෙව්පුතුගේ විමන ද කම්පනය විය. එකෙණෙහි ඒ දේවපුත්රයා සැක හටගත්තේ පෘථුවි කම්පනයෙහි උපත කිමෙක්දැයි සිතා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර හළ බව දැන මහා ශෝක සංවේගයක් ඉපදවීය. එකල්හි වෛශ්රවණ මහරජ තෙමේ පැමිණ ඒ ගැන නොසිතවයි අස්වැසීය. ඒ දේවපුත්රයා එයින් චුතව ඒ පිනින් දෙවිමිනිසුන් අතර සැරිසරන්නේ මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක උපන්නේ දැනමිති බවට පත්වූයේ ගිහිගෙය අත්හැර පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
පසුකලක පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තේ පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නේ ‘යදා විපස්සි ලොකග්ගො’ යනාදිය කීය. ආයුසඞ්ඛාර මොස්සජි යනු හාත්පසින් යුනොති සත්ත්වයන් පාලනය කෙරේනුයි ආයු නමි. ආයුෂයෙහි සංඛාරො ඒකරාශී වීම ආයුසංඛාර නමි. ඒ ආයු සංස්කාරය ඔස්සජි ප්රතික්ෂේප කළ සේක. අත්හළ සේක යන අර්ථයි. එම ආයුසංස්කාර හැරීමෙහිදී ජලමෙඛලා සාගරජල මේඛලාව සහිත සියලු දසදහසක් චක්රවාට පෘථුවිය ප්රකම්පනය විය යනු සම්බන්ධයි.
ඔතනං විත්ථතං ඔතතනං විතතං විසිතුරු වූ සුපිරිසිදු වූ චිත්තං නොයෙක් සත්රුවනින් චිත්රවිචිත්ර වූ සෝබමාන වූ මාගේ භවන පකම්පිත්ථ ක්රමයෙන් ප්රකම්පනය විය යන අර්ථයි. සෙස්ස සියලුතන්හි නොගැඹුරුමය.
බුද්ධසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
118. මග්ගසඤ්ඤක ථේර අපදාන වර්ණනාව
පදුමුත්තර බුද්ධස්ස සාවකා ආදි වශයෙන් ආයුෂ්මත් මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ එයින් පසුව භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි හිමවතෙහි දිව්යපුත්රයෙක් ව ඉපිද කැළයට ගොස් මංමුළා වූ මාර්ගය සොයන්නා වූ උන්වහන්සේගේ ශ්රාවකයන් වළඳවා මාර්ගය කීය. හේ ඒ පිනින් දෙව් මිනිස් සැප අනුභවකොට උපනුපන් භවයෙහි සියලු තන්හි මුළා නොවූයේ සංඥා ඇත්තේ විය. ඉක්බිති මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ගෘහවාසයෙහි නොඇලුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරවන්නාහු ‘පදුමුත්තර බුද්ධස්ස’ යනාදිය කීහ. සාවකා වනචාරිනො යනු භාග්යවතුන් වහන්සේ කියූ වචනය මැනවින් ආදරයෙන් අසත්නුයි සාවක නමි. නැතහොත් භාග්යවතුන් වහන්සේගේ දේශනා අනුසාරයෙන් ඥානය මෙහෙයවා සද්ධර්මය අසත්නුයි සාවක නමි. වනචාරිනො වනයෙහි හැසිරෙන ශ්රාවකයෝ ය. විප්පනට්ඨං මංමුළා වී මහා වනයෙහි අන්ධාව ඇස් නැත්තවුන් මෙන් අනුසරෙ හැසිරෙති යනු සම්බන්ධයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු අර්ථ ඇත්තේ ම ය.
මග්ගසඤ්ඤික තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
119. පච්චුපට්ඨාන ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සි සුගතෙ යනාදි වශයෙන් ආයුෂ්මත් පච්චුපට්ඨාන සඤ්ඤක තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි යක් යෝනියෙහි ඉපිද භාග්යවතුන් වහන්සේ ජීවමාන කාලයෙහි දැක්මක් නොලැබුණු බැවින් පසුව පිරිනිවි කල්හි මහත් ශෝකයට පැමිණ වාසය කළේය. එකල්හි උන්වහන්සේගේ සාගත නම් අග්ර ශ්රාවකයන් වහන්සේ අනුශාසනා කරන සේක් ‘භාග්යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු පූජාව නම් ජීවත්ව සිටියදී කරන ලද පූජාවක් මෙන් මහත්ඵල වෙති’යි කියා ස්තූපයක් කරවයි යොදවනු ලැබුයේ ස්තූපයක් කරවීය. එයට පූජාකොට එයින් චුතවූයේ දෙවිමිනිසුන් අතර සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි සැවැත්නුවර එක් කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලක තමාගේ පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘අත්ථදස්සිම්හි සුගතෙ’ යනාදිය කීහ. එය යට කියන ලද්දේ ම ය. යක්ඛයොනිං උපපජ්ජිං යනු මෙහි තමාගේ ඉදිරියට පැමිණි පැමිණියවුන් කමින් යාති යතියි යක්ඛ නමි. යකුන්ගේ යොනි ජාතියනුයි යක්ඛයොනි නමි. යක්ෂ යෝනියෙහි උපන්නේ යන අර්ථයි.