12. මහාපරිවාර වර්ගය
111. මහාපරිවාර ථේර අපදාන වර්ණනාව
විපස්සි නාම භගවා යනාදි වශයෙන් ආයුෂ්මත් මහා පරිවාර තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන නිවනට හේතුවන පින් රැස්කරන්නේ විපස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි තෙමේම යක්ෂ යෝනියෙහි ඉපිද නොයෙක් සියදහස් ගණන් යක්ෂ පිරිවර ඇත්තේ එක් කුඩා දිවයිනක දිව්ය සම්පත් අනුභවකොට වෙසේ. ඒ දිවයිනෙහි චෛත්ය ආදියෙන් අලංකාර වූ විහාරයක් ඇත. භාග්යවතුන් වහන්සේ එහි වැඩම කළ සේක. ඉක්බිති ඒ යක්ෂ සේනාධිපතියා භාග්යවතුන් වහන්සේ එහි වැඩම කළ බව දැක දිවසළු රැගෙන ගොස් භාග්යවතුන් වහන්සේ වැඳ දිවසළුවලින් පූජා කළේය. පිරිවර සහිතව සරණ ගියේය. හේ එම පුණ්යකර්මයෙන් එයින් චුතව දෙව්ලොව ඉපිද එහි ස කාමාවචර සැප අනුභවකොට එයින් චුතව මිනිසුන් අතර චක්රවර්ති ආදී සැප අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදී පැවිදි වූයේ නොබෝ කලකින්ම රහත් විය.
උන්වහන්සේ පසුකලෙක තමාගේ පූර්ව කර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්ව චරිතාපදානය ප්රකාශ කරන්නාහු ‘විපස්සි නාම භගවා’ යනාදිය කීහ. එහි විශේෂ වූ පරමාර්ථ නිර්වාණය දකීනුයි විපස්සි නමි. විවිධ වූ සතිපට්ඨානාදී සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් දකීනුයි හෝ විපස්සි නමි. විවිධ වූ අනේකප්රකාර වූ අවබෝධ කරවිය හැකි සත්ත්වයන් වෙන වෙනම දකීනුයි හෝ විපස්සී නමි. ඒ විපස්සි භාග්යවතුන් වහන්සේ ඒ දිවයිනෙහි චෙතියං පූජනීය ස්ථානයට වැඩිසේක යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
මහා පරිවාර තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
112. සුමඞ්ගල ථේර අපදාන වර්ණනාව
අත්ථදස්සි ජිනවරො යනාදි වශයෙන් ආයුෂ්මත් සුමංගල තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ භවයෙහි තැනින් තැන පින් රැස් කරන්නේ අත්ථදස්සි භාග්යවතුන් වහන්සේගේ කාලයෙහි එක් තඩාගයක් සමීපයෙහි රුක්දෙවියෙක් ව උපන්නේ ය. එසමයෙහි භාග්යවතුන් වහන්සේ විහාරයෙන් නික්ම නහනු කැමතිසේක් ඒ තඩාංගයෙහි ඉවුරට වැඩමකොට එහි ස්නානය කොට එක් සිවුරකින් බබලන බ්රහ්මයා මෙන් සූර්යයා මෙන් රන් පිළිමයක් සේ වැඩසිටි සේක. ඉක්බිති ඒ දිව්යපුත්රයා හටගත් සොම්නස් ඇත්තේ ඇඳිලිබැඳ ස්තුති කළේය. තමාගේ දිව්යගීත තූර්ය වාදනයෙන් උපහාරද කළේය. හේ එම කර්මයෙන් දෙවිමිනිසුන් අතර සම්පත් අනුභවකොට පසුකලක මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද දැනමිති බවට පත්වූයේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැද පැවිදිව නොබෝ කලකින්ම රහත්විය.
උන්වහන්සේ පසුව පූර්වකර්මය සිහිකොට හටගත් සොම්නස් ඇත්තාහු පූර්වචරිතාපදානය ප්රකාශ කරන්නාහු අත්ථදස්සි ජිනවරො යනාදිය කීහ. එහි පරමාර්ථ නිර්වාණය දක්ඛති දකින්නේනුයි අත්ථදස්සි නමි. නැතහොත් සියලු සත්ත්වයන්ට චතුරාර්ය සත්ය සංඛ්යාත අත්ථං ප්රයෝජනය දක්නාසුලු වූයේ යනුයි අත්ථදස්සි නමි. කෙලෙස් දිනුවේය. දිනයි දිනන්නේනුයි ජිනනමි. සියලු සත්ත්වයන් විසින් හැසිරිය යුත්තේ ප්රාර්ථනා කළයුත්තේනුයි වර නම් අත්ථදස්සි ජිනවූයේ ද හෙම වරවූයේ ද අත්ථදස්සි ජිනවර නමි. ලොකජෙට්ඨො යනු දිරානුයි විශේෂයෙන් දිරානුයි ලෝක නමි. බුද්ධාදීන් විසින් බලනු ලැබේනුයි. පිහිටනු ලැබේනුයි පරතෙර පත්වූයේනුයි හෝ ලෝක නමි. ලෝකයට ජ්යෙෂ්ඨ වූයේ නරයන්ට උත්තම වූයේ යන අර්ථයි. සෙස්ස සියලු තන්හි නොගැඹුරු වේ ම ය.
සුමඞ්ගල තෙරුන් වහන්සේගේ අපදාන අටුවාවයි.
113. දුතියසරණගමනීය ථේර අපදාන වර්ණනාව
උභින්නං දෙවරාජුනං යනාදි වශයෙන් ආයුෂ්මත් සරණාගමනිය තෙරුන් වහන්සේගේ අපදානයයි. මෙතෙමේද පෙර බුදුවරුන් හමුවෙහි කරන ලද උත්සාහ ඇත්තේ උපනුපන් භවයෙහි පින් රැස්කරන්නේ පදුමුත්තර භාග්යවතුන් වහන්සේ උපන් කල්හි මොහු හිමවතෙහි දෙව්රජෙක් ව උපන්නේය. ඒ අසලම විසූ යක්දෙව් රජු සමග සංග්රාමය පිණිස එළැඹියේ දෙදෙන නොයෙක් යක්ෂයන් දහස් ගණන් පිරිවර ඇත්තාහු පලිස් ආයුධ ගත් අත් ඇත්තාහු වූහ. එකල්හි පදුමුත්තර භාග්යවතුන් වහන්සේ ඒ සත්ත්වයන් කෙරෙහි කරුණාව උපදවා අහසින් එහි වැඩමවා පිරිවර සහිත දෙව්රජුන් දෙදෙනාට ධර්මය දේශනා කළ සේක. එකල්හි ඒ සියලු පලිස් ආයුධ හැරදමා භාග්යවතුන් වහන්සේට ගරු බුහුමන් සහිතව වැඳ සරණ ගියහ. මේ තෙමේ ඔවුන්ගෙන් පළමුව සරණ ගියේය. හේ ඒ පිනින් දෙවි මිනිසුන් අතර සැරිසරන්නේ උභය සම්පත් අනුභව කොට මේ බුද්ධෝත්පාද කාලයෙහි කුලගෙයක ඉපිද වැඩිවිය පත්ව ශාස්තෲන් වහන්සේ කෙරෙහි පැහැදුණේ පැවිදිව නොබෝ කලකින්ම රහත් විය.